සෙලියුලර් තාක්‍ෂණය
ජංගම දුරකථන සෙලියුලර් දුරකථන වශයෙන්ද හැඳින්වේ. ජංගම දුරකථන ජාලයක් සෛලමය හැඩ ඇති ප්‍රදේශ (cells) වලින් සමන්විත වීම එයට හේතුවයි. මෙම සෛලමය හැඩ ඇති ප්‍රදේශ වලට එක් එක් සම්ප්‍රේෂණ කුළුනු මගින් සංඥා ආවරණය සලසන අතර එක් සෛලමය හැඩ ඇති ප්‍රදේශයක ඇති ජංගම දුරකථන එම ප්‍රදේශයේ ඇති සම්ප්‍රේෂණ කුළුන හරහා ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ වේ. ජංගම දුරකථනයක් සෑම අවස්ථාවකම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සමග සම්බන්ධතාවය ඇති කරගත හැකි පරිදි අවශ්‍ය අවම සම්ප්‍රේෂණ බලයෙන් සංඥා සම්ප්‍රේෂණය කරයි. සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් දුරස් වත්ම ජංගම දුරකථනය තම සම්ප්‍රේෂණ බලය ස්වයංක්‍රියව අවශ්‍ය පරිදි වැඩි කර ගනී. මෙවන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන Base Transceiver Stations (BTS) නමින් හැඳින් වේ. මෙවන් BTS ගණනාවක් ක්ෂුද්‍ර තරංග සම්බන්ධතා (microwave link) මගින් හෝ ෆයිබර් කේබල හෝ වෙනත් කේබල මගින් Base Station Controller (BSC) මධ්‍යස්ථානයකට සම්බන්ධ වේ. BSC කිහිපයක් Mobile Switching Centre (MSC) මධ්‍යස්ථානයකට සම්බන්ධ වේ. එක් ජංගම දුරකථනයකින් ලබා ගන්නා ඇමතුමක් තවත් දුරකථනයකට යොමු කර සම්බන්ධ(switch) කිරීම MSC තුලදී සිදු කෙරේ. දුර ඇමතුම වෙනත් දුරකථන ජාලයකට යොමුවී ඇත්නම් එය MSC මගින් පොදු දුරකථන ජාලයට (PSTN-Public Switched Telephone Network) යොමු කර සම්බන්ධතාවය ඇති කෙරේ.
රේඩියෝ තරංග සංඛ්‍යාත ප්‍රති-උපයෝගය (Frequency re-use)
සෙලියුලර් ජංගම දුරකථන ජාල වල ඇති විශේෂත්වය වන්නේ එහි රේඩියෝ තරංග සංඛ්‍යාත (චැනල) වෙනත් ප්‍රදේශ වලදී ප්‍රති-උපයෝගී කරගැනීමට ඇති හැකියාවයි.ජංගම දුරකථන දහස් ගණනක් එකම අවස්ථාවක ක්‍රියාත්මක වන නිසා විවිධ ප්‍රදේශ වල මෙම සීමිත රේඩියෝ තරංග චැනල ගණන එකිනෙකට බාධා නොවන පරිදි නැවත භාවිතා කිරීමට අවශ්‍ය වේ. ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනු ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා සම්බන්ධවීමට භාවිතා වන මෙම රේඩියෝ තරංග චැනල, වෙනත් ප්‍රදේශ වලදී තවත් ජංගම දුරකථන එසේ සම්බන්ධ කිරීමට නැවත යෙදවේ. මෙම ක්‍රියාවලියේදී රේඩියෝ තරංග සංඛ්‍යාත චැනල එක ලඟ ප්‍රදේශවල එකිනෙකට බාධා නොවන පරිදී ක්‍රියා කිරීමට එම චැනල නිසි පරිදි සැලසුම් කළ යුතුවේ. 3G ජංගම දුරකථන ජාලවල CDMA තාක්‍ෂණය යොදා ගැනෙන අතර එකම චැනලය එක ලඟ ප්‍රදේශවල භාවිතා කළ හැක. එම චැනල වලට විශේෂිත වූ කේත කාවද්දා (embedded) එකිනෙක හා බාධා නොවන පරිදි ක්‍රියා කිරීමට සැළැස්වේ.
TDMA තාක්‍ෂණය
TDMA (Time Division Multiple Access) යනුවෙන් හැඳින්වෙන්නේ ඩිජිටල් ජංගම දුරකථන ජාලවල භාවිතා වන බහුපථ (multiplex) කිරීමේ ක්‍රමවේද යයි. මෙහිදී එක් රේඩියෝ චැනලයක් එක වර ග්‍රාහකයන් කිහිප දෙනෙකුට භාවිතා කළ හැක. එකම චැනලය ග්‍රාහකයන් ගණනාවක් එක අවස්ථාවක හවුලේ භාවිතා කරන අතර එක් එක් ග්‍රාහකයා එම චැනලයේ එක් කාල විවරයක් (time slot) තම භාවිතයට යොදා ගනී. දුර ඇමතුමේ කථනය (voice) ඩිජිටල් දත්ත බවට පත් කර කෙටි කාලසීමාවකදී සම්ප්‍රේෂණය කෙරේ. GSM හිදි එක් චැනලයක් කාල විවර 8 බැගින් බෙදෙන අතර එකවර ග්‍රාහකයන් 8 දෙනෙකුට එම චැනලයක් හවුලේ භාවිතා කර සම්බන්ධතාවය පවත්වා ගත හැක. සෑම ග්‍රාහකයකුම තමන්ට වෙන්කර ඇති චැනලයේ කාල විවරය තුල පමණක් සංඥා සම්ප්‍රේෂණය හා ග්‍රහණය සිදුකරයි. මෙම කාලවිවර මාරුකිරීම නැතහොත් ස්විච් කිරීම ඉතා සුළු කාලයක් වන තත්පරයකින් දහසකින් එකක් වැනි කුඩා කාල සීමාවකදී ස්වයංක්‍රීයව කෙරෙන අතර ග්‍රාහකයන්ට තම චැනලය තවත් ග්‍රාහකයන් සමග හවුලේ භාවිතා කරන බව පවා නොදැනෙන තරමට ඉක්මණින් ක්‍ෂණිකව සිදුකෙරේ.
CDMA
3G ජංගම දුරකථන හා CDMA ස්ථාපිත දුරකථන, TDMA තාක්‍ෂණයට අමතරව CDMA තාක්‍ෂණයද භාවිතා කරයි. CDMA තාක්‍ෂණය ගැන වැඩි විස්තර වෙනත් ලිපියක දක්වනු ඇත.
රේඩියෝ චැනල් පැවරීම (handover/handoff)
ජංගම දුරකථනයකට සංඥා ආවරණය ඇති ඕනෑම ස්ථානයක සිට ඇමතුම් ලැබීමට හෝ ලබාගැනීමට අමතරව දුර ඇමතුමක යෙදී සිටින අවස්ථාවක එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කිරීමේදී එම ඇමතුම නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව ද ලැබේ. සෑම ජංගම දුරකථනයක්ම නිරතුරුවම අවට ප්‍රදේශවල ඇති ජංගම දුරකථන ජාලයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වල සංඥා පිරික්සමින් සිටී. ජංගම දුරකථනයක් ලඟම පිහිට ජංගම දුරකථන ජාල කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධව සිට ඒ අවට සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවල සංඥා ද පිරික්සයි. දුර ඇමතුමක යෙදී සිට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කරන අවස්ථාවක එම සම්බන්ධතාවය තමන් මුලින් සිටි ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් විසන්ධි වී තමන් ලඟා වන ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් හරහා ඇති කෙරෙන පරිදි මාරු කෙරේ. මෙය ග්‍රාහකයන්ට නොදැනෙන තරම් ඉක්මණින්, ක්‍ෂණිකව කෙරෙන අතර එමගින් දුර ඇමතුම නොකඩවා පවත්වා ගත හැක. මෙම සම්බන්ධතාවය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට තවත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකට පවරාදිමේදී භාවිතා වන රේඩියෝ චැනලය මාරු වේ. මෙම පවරාදීමේ ක්‍රියාවලිය handover/handoff නමින් දැක්වේ. 3G ජංගම දුරකථන ජාලවල භාවිතා වන CDMA තාක්‍ෂණයේදී soft handover නම් මෙයට වඩා තරමක් වෙනස් ක්‍රියාවලියක් සිදු කෙරේ. මෙහිදී දුර ඇමතුමක යෙදී සිට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කරද්දී මුලින් තිබූ සම්බන්ධතාවය විසන්ධි නොවී තමන් ලඟාවන ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හරහා ද සම්බන්ධතාවයක් ජංගම දුරකථනය ඇති කර ගනී. අනතුරුව යම් කාල සීමාවකට මෙම සම්බන්ධතා දෙකම පවත්වා පලමුව ඇති කරගත් සම්බන්ධතාවය විසන්ධි කෙරේ.
සෙලියුලර් ජංගම දුරකථන පද්ධතියක මූලික වින්‍යාසය
BTS – Base Transceiver Station, RBS (Radio Base Station) හෝ 3G හිදී NodeB යනුවෙන් දැක්වෙන රේඩියෝ තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන.
BSC – Base Station Controller හෝ RNC (Radio Node Controller) යනුවෙන් දැක්නේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලක ස්ථානය
MSC – Mobile Switching Centre - ජංගම දුරකථන හුවමාරු මධ්‍යස්ථානය
PSTN – Public Switched Telephone Network - පොදු දුරකථන ජාලය
- කුසල් ඈපා
No comments:
Post a Comment