Sunday, July 4, 2021

ඩිජිටල් රූපවාහිනී විකාශනය

 

ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණයේදී රූප සංඥා ඩිජිටල් සංඥා බවට සංකේතනය (encode) කර හැකිලවීමේ (compress) ක්‍රමද උපයෝගී කරගෙසම්ප්‍රේෂණය කරනු ලබයි. සාමාන්‍ය භාවිතයේ ඇති ඇනලොග් රූපවාහිනී ක්‍රමයට වඩා ඩිජිටල් රූපවාහිනී ක්‍රමයේ විශේෂ වාසි රැසක් ඇත. ඩිජිටල් රූපවාහිනී චැනල වල රූප හා ශබ්ද උසස් තත්වයෙන් යුතු වන අතර ඩිජිටල් රූපවාහිනී සංඥා ග්‍රහණය ඇනලොග් සංඥා ග්‍රහනයේ ඇති දුර්වලතාවලින් තොරවේ. ඩිජිටල් රූපවාහිනී චැනල ඇනලොග් රූපවාහිනී චැනල වලට වඩා අඩු තරංග කලාප පළලකින් යුතු අතර ඇනලොග් චැනලයක තරංග ඉඩ ප්‍රමානයක ඩිජිටල් චැනල කිහිපයක් සම්ප්‍රේෂණය කළ හැක. වැඩි චැනල ගණනක් ලබාදීම, ඉලෙක්ට්‍රොනික වැඩසටහන් පෙළගැස්මක (Electronic Programme Guide) උපකාරය, පුළුල් තිර රූප දර්ශනය (widescreen), සරවුන්ඩ් සවුන්ඩ්(surround sound), අධි විභේදන (HD-high density) රූප, නොපැහැදිලි රූප වලින්තොර වීම, අන්තර් ක්‍රියාකාරී සේවාවන් (interactive services),  ඩිජිටල් රූපවාහිනී සේවාවල ඇති තවත් පහසුකම් අතර වේ.

 




ඩිජිටල් රූපවාහිනී ප්‍රමිත

ඩිජිටල් රූපවාහිනී ප්‍රමිතීන් කිහිපයක් දැනට ලෝකයේ විවිධ ප්‍රදේශවල භාවිතාවේ. DVB-T (Digital Video Broadcasting – Terrestrial) දැනට වැඩි වශයෙන්ම භාවිතා වන ප්‍රමිතියයි. DVB-T යුරෝපය, ඹ්ස්ට්‍රේලියාව ආදී රටවල භාවිතා වේ. උතුරු ඇමරිකාවේ  ATSC (Advanced Television Standards Committee) ප්‍රමිතිය භාවිතා වේ. ජපානයේ ISDB-T ප්‍රමිතියද, චීනයේ DMT-T/H ප්‍රමිතියද භාවිතාවේ.

ලෝකයේ රටවල් ගණනාවකම ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණය දැනටමත් ආරම්භ කර ඇත.

 

DVB-T2

DVB-T ප්‍රමිතිය වැඩි දියුණු කිරීමෙන් ඩිජිටල් රූපවාහිනී සේවා සඳහා සැකසූ නවතම ප්‍රමිතිය DVB-T2 වශයෙන් හැඳින්වේ. DVB-T ප්‍රමිතියට වඩා DVB-T2 ප්‍රමිතිය මගින් වැඩිදියුණු කළ අමතර පහසුකම් හා උසස් ක්‍රියාකාරිත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා DVB-T2 ප්‍රමිතිය මුලින් තෝරා ගෙන තුබූ නමුත් පසුව ISDB-T ප්‍රමිතිය තෝරා ගන්නා ලදී.

ආරම්භයේදී බොහෝ රටවල් ඇනලොග් චැනල වල වැඩසටහන් මාලාවම ඩිජිටල් ක්‍රමයටද විකාශනය කර පසුව ක්‍රමයෙන් ඇනලොග් චැනල නවතා දමා ඩිජිටල් චැනල පමණක් විකාශනය කරනු ඇත. සමහර රටවල් ඉදිරියේ ඇනලොග් චැනල විකාශනය නවතා දමන දිනයන් දැනටමත් නිවේදනය කර ඇත.

ඇනලොග් රූපවාහිනී චැනල සම්ප්‍රේෂණයේදී යාබද ප්‍රදේශවල රූපවාහිනී මධ්‍යස්ථානවලට එකම චැනලයේ සම්ප්‍රේෂණය කිරීම අතුරු බාධක  (interference) නිසා නොහැකි වේ. ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණයේ භාවිතාවන OFDM මූර්ජන (modulation) ක්‍රමය මගින් එක් තරංග සංඛ්‍යාතයක චැනලයක් යාබද ප්‍රදේශවලදී නැවත සම්ප්‍රේෂණය බාධාවකින් තොරව කළ හැක. මෙමගින් රට පුරා එකම චැනලයක් එක් සංඛ්‍යාතයක විකාශනය කිරීමේ හැකියාව ඩිජිටල් රූපවාහිනී ක්‍රමය සතුව ඇත.

ඩිජිටල් රූපවාහිනී සංඥා ග්‍රහණයට ඩිජිටල් රූපවාහිනී යන්ත්‍රයක් අවශ්‍ය වේ.  ඩිජිටල් රූපවාහිනී යන්ත්‍රයක ඩිජිටල් ටියුනරයක් අන්තර්ගතව ඇත. බොහෝ ඩිජිටල් රූපවාහිනී යන්ත්‍ර වලට ඇනලොග් චැනල ලබාගැනීමේ හැකියාවද ඇත.

පරිගණකයකට USB  හෝ PCI කාඩ් වර්ගයේ ඩිජිටල් ටියුනරයක් සම්බන්ධ කිරීමෙන් පරිගණක තිරය මත ඩිජිටල් රූපවාහිනී චැනල නැරඹීමේ හැකියාවද ඇත.

සාමාන්‍ය භාවිතයේ ඇති ඇනලොග් වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර වලට ඩිජිටල් රූපවාහිනී සංඥා ග්‍රහණය කර ගත නොහැක. එහෙත් ඩිජිටල් රූපවාහිනී ටියුනර් සෙට් ටොප් බොක්ස් එකක් පිටතින් සම්බන්ධ කිරීමෙන් ඇනලොග් යන්ත්‍රයකින්ද ඩිජිටල් රූපවාහිනී චැනල නැරඹිය හැක.

 

 

                           


 

ඩිජිටල් TV සෙට් ටොප් බොක්ස්

ඩිජිටල් TV සෙට් ටොප් බොක්ස් යනු ඩිජිටල් රූපවාහිනී සංඥා ඇනලොග් රූපවාහිනී සංඥා හෝ වීඩියෝ සංඥා බවට පත් කරන උපකරණයකි. මෙමගින් ඇන්ටෙනාවෙන් ලබාගන්නා ඩිජිටල් රූපවාහිනී සංඥා ඇනලොග් රූපවාහිනී සංඥා හෝ වීඩියෝ සංඥා බවට පත් කර සාමාන්‍ය ඇනලොග් රූපවාහිනී යන්ත්‍රයකින් නැරඹීමේ හැකියාව ලබා දේ. මෙවන් උපකරණයක් භාවිතයේදී චැනල මාරු කිරීමද මෙම උපකරණය හරහා කළ යුතු අතර ඒ සඳහා සෙට් ටොප් බොක්ස් උපකරණය සමග සැපයෙන දුරස්ථ පාලකය (remote control) භාවිතා කළ හැක.

ඩිජිටල් රූපවාහිනී චැනලයක් UHF හෝ   VHF තරංග මාලාවේ 6-8 MHz තරංග කලාප පළලකින් (bandwidth) යුක්ත වේ.  ඩිජිටල් රූපවාහිනී චැනලයක දත්ත සම්ප්‍රේෂණ වේගය, එහි හාවිතා වන HD හෝ SD රූප සම්මතය මත වෙනස් වේ. HD චැනලයක් MPEG වර්ගයේ හැකිලීමේ (compression) ක්‍රමයක් භාවිතයේදී 28Mbps පමණ උපරිම දත්ත සම්ප්‍රේෂණ ප්‍රවාහන වේගයකින් යුක්ත වේ.

 

HD (අධි විභේදන) / SD (සම්මත විභේදන)

ඩිජිටල් රූපවාහිනී වැඩසටහන් අධි විභේදන(HD-High Definition) හෝ සම්මත විභේදන (SD-Standard Definition) ක්‍රමයෙන් යුක්ත විය හැක. මෙමගින් තිරය මත ඇති විභේදනය (resolution) දැක්වේ. තිරයේ විභේදනය  රේඛා (lines) හා පික්සල (pixels) ගණනින් දැක්වේ. ඉරි හා පික්සල වැඩිවත්ම රූපවල පැහැදිලිතාවය හා සියුම් බව (sharpness) වැඩි වේ. HD වර්ගයේ වැඩසටහන් නැරඹීමට ඩිජිටල් TV ටියුනරය HD සංඥා විකේතනය (decode) කිරීමේ හැකියාවෙන් යුතු විය අතර රූපවාහිනී තිරය HD රූප නැරඹිය හැකි වර්ගයේ තිරයක් විය යුතුය. HD වර්ගයේ වැඩසටහන් මගින් ඉතා උසස් සිනමා තත්වයේ රූප හා ඩොල්බි ඩිජිටල් සරවුන්ඩ් සවුන්ඩ් ද ලබා දිය හැක. HD වර්ගයේ වැඩසටහන් වල රූපවල තත්වය, SD වර්ගයේ වැඩසටහන් වල රූපවල තත්වයට වඩා බෙහෙවින් ඉහළය. HD වර්ගයේ රූපවාහිනී වැඩසටහන් පුළුල් තිරයක දර්ශනය කළ හැකි අතර එය 16:9 දිග පළල දර්ශන අනුපාතයට (aspect ratio) දර්ශනය වේ. එය සාමාන්‍ය ඇනලොග් රූපවාහිනී වැඩසටහන්වල ඇති 4:3 දර්ශන අනුපාතයට වඩා තුනෙන් එකක ප්‍රමාණයකින් පුළුල් වේ.

ඩිජිටල් රූප‍වාහිනී චැනල වල විකාශනය වන සෑම වැඩසටහනක්ම HD වර්ගයට අයත් නොවේ. බොහෝ වැඩසටහන් SD  වර්ගයට අයත් වේ. HD වර්ගයට අයත් වැඩසටහන් HD වර්ගයේ කැමරා භාවිතයෙන් මුලින් පටිගත කළ වැඩසටහන් විය යුතුය. ‍ ‍බොහෝ අවස්ථාවල HD වැඩසටහන් විකාශනය ආරම්භයේදී එම වැඩස‍ටහන  HD ක්‍රමයට නැරඹි‍ය හැකි බවට රූපවාහිනී තිරය මත දැනුම් දීමක් HD සලකුන ‍යෙදීම මගින් ලබාදේ.

HD Ready යනුවෙන් දක්වා ඇති සමහර රූපවාහිනී යන්ත්‍ර වල විශේෂයෙන් දක්වා නොමැති නම් HD ඩිජිටල් ටියුනරයක් අන්තර් ගත නොවිය හැක. මෙවන් යන්ත්‍ර වල HD රූප නැරඹිය හැකි වුවත් ඒ සඳහා බාහිරින් HD ඩිජිටල් ටියුනරයක් සම්බන්ධ කළ යුතුවේ. නැතහොත් DVD, බ්ලූරේ (BluRay), හෝ චන්ද්‍රිකා රූපවාහිනී (satellite TV) ටි‍යුනරයක් මගින් බාහිරින් HD දර්ශන සංඥා ලබා දිය යුතුවේ. පූර්ණ HD (Full HD) තිරයක් 1920X1080P විභේදනයකින් (Resolution) යුක්තවේ.

 

MPEG

MPEG (Moving/Motion Picture Experts Group) යනුවෙන් හැඳින්වෙන්නේ ඩිජිටල් දෘශ්‍ය (video) හා ශ්‍රව්‍ය (audio) හැඩතල (formats) සඳහා ප්‍රමිතීන් සකසන ආයතනය හා එමගින් සකසන ප්‍රමිතීන් ය. දත්ත හැකිලවීමේ (data compression) උපක්‍රම මගින් ඩිජිටල් ක්‍රමයට ඇති දත්ත සම්ප්‍රේෂණයට අවශ්‍ය තරංග පළල (bandwidth) හා දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ඉඩ සෑහෙන ප්‍රමානයකින් අඩු කර ගත හැක. MPEG ප්‍රමිතීන් කිහිපයක් ඇති අතර ඩිජිටල් රූපවාහිනී සඳහා වැඩිවශයෙන් භාවිතා වන්නේ MPEG-2 ප්‍රමිතියයි. අළුතෙන් හඳුන්වාදුන් MPEG-4 ප්‍රමිතියද දැන් වැඩි වශයෙන් භාවිතයට ගැනෙන අතර එයට MPEG-2 ප්‍රමිතියට වඩා අඩු තරංග පළලක් භාවිතා කර උසස් තත්වයේ රූප ලබා දීමේ හැකියාව ඇත. අධි විභේදන (HD) චැනල සම්ප්‍රේෂණයේදී MPEG-4 ප්‍රමිතිය වැඩි වශයෙන් භාවිතා වේ. DVB-T ප්‍රමිතියේ ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ MPEG-2 හෝ MPEG-4 ප්‍රමිතීන් යොදා කේතීකරනය (coding) කළ හැක. සෑම ඩිජිටල් රූපවාහිනී සෙට් ටොප් බොක්ස් එකක් තුලම MPEG-4 විකේතනය (decode) කිරීමේ පහසුකම නොමැති අතර MPEG-4 ප්‍රමිතියට කේතීකරනය කළ සම්ප්‍රේෂණ නැරඹීමට මෙම පහසුකම තිබිය යුතුය.

 

ඩිජිටල් රූපවාහිනී සඳහා ඇන්ටෙනා

ඇනලොග් රූපවාහිනී සම්ප්‍රේෂණ ග්‍රහණයට භාවිතා කරන ඇනටෙනා, ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණ ග්‍රහණයටද භාවිතා කළ හැක. තාක්‍ෂණික වශයෙන් ඇනලොග් හා ඩිජිටල් රූපවාහිනී ඇන්ටෙනා අතර වෙනසක් නොමැත. නමුත් ඩිජිටල් රූපවාහිනී චැනල සාමාන්‍ය ඇනලොග් රූපවාහිනී චැනල වලට වඩා වෙනස් තරංග සංඛ්‍යාතයක සම්ප්‍රේෂණය වන්නේ නම් එම සංඛ්‍යාතයට ප්‍රශස්ත කළ ඇන්ටෙනාවක් හාවිතා කිරීම අවශ්‍ය විය හැක.

 

3D TV

3D (ත්‍රිමාණ-3 Dimensional) රූපවාහිනී යන්ත්‍ර මගින් ප්‍රේක්‍ෂකයන්ට ත්‍රිමාණ රූප සහිතව රූපවාහිනිය නැරඹීමට අවස්ථාව ලැබේ. සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍ර ද්විමාණ (2D) රූප දර්ශනය කරයි. එවන් රූප වල දිග හා පළල පමණක් සහිතව රූප දර්ශනය වේ. 3D රූපවල මෙයට අමතරව ගැඹුර සහිතව රූප දර්ශනය වේ.  3D රූප සහිත රූපවාහිනී වැඩසටහන් නිසි පරිදි දර්ශනය වීමට 3D පහසුකම සහිත රූපවහිනී යන්ත්‍ර හා එවන් රූප නැරඹීමට විශේෂයෙන් සකස් කළ උපැස් යුවලක් අවශ්‍ය වේ. මෙවන් උපස් යුවලක් භාවිතා නොකර 3D රූප නැරඹීමේදී රූප විකෘති වී දර්ශනය වේ.

3D රූප නැරඹීම සඳහා භාවිතා කරන උපැස් යුවල වර්ග දෙකකින් ඇත. එනම් සක්‍රිය (active) හා නිෂ්ක්‍රිය (passive) වශයෙනි. භාවිතා කරන රූපවාහිනී යන්ත්‍රයට අදාලව මෙම උපස් යුවල තෝරා ගත යුතුය. සක්‍රිය වර්ගයේ උපැස් යුවල වැඩි වශයෙන් භාවිතයේ පවතී. මෙම වර්ගයේ උපැස් යුවල මිලෙන් වැඩි අතර බැටරියකින් ක්‍රියාකරයි. මෙම උපැස් යුවල රූපවාහිනී යන්ත්‍රය හා සමමුහුර්තකරණය සඳහා රේඩියෝ තරංග හෝ අධෝරක්ත (infrared) කිරණ මගින් රූපවාහිනී යන්ත්‍රය සමග සන්නිවේදනය පවත්වා ගනී. මෙමගින් එක් එක් ඇස සඳහා උපැස් යුවලේ ෂටරය (පියන) ඇරීම හා වැසීම පාලනය කෙරේ. මෙම වර්ගයේ උපැස් යුවල රූපවාහිනී යන්ත්‍රයේ මාදිලිය මත තෝරා කළ යුතු අතර වෙනත් වර්ග වල නිෂ්පාදන සඳහා ක්‍රියා නොකරයි.

නිෂ්ක්‍රිය (passive) වර්ගයේ උපැස් යුවල සමහර 3D රූපවාහිනී සඳහා යොදා ගත හැකි අතර එම වර්ග වල උපැස් යුවල සැහැල්ලු බවන් යුක්ත වන අතර මිලෙන් ද අඩු ය.

විශේෂිත උපැස් යුවල භාවිතා නොකර නැරඹිය හැකි 3D රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය වෙමින් පවතින අතර නුදුරු අනාගතයේ එළි දැක්වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

3D රූපවාහිනී වැඩ සටහන් නිපදවීමට විශේෂිත 3D රූපවාහිනී කැමරා භාවිතා කළ යුතුය.  සාමාන්‍ය (2D) රූපවාහිනී වැඩසටහන් ඩිජිටල් රූප ප්‍රවර්ධනය කිරීමේ තාක්‍ෂණ භාවිතා කර 3D රූප බවට පත් කිරීමට හැකියාවක් ඇතත් මුලින් 3D වලින් නිපදවූ රූප තරම් හොඳින් 3D රූප දර්ශනය නොවේ.

බොහෝ 3D වැඩසටහන් හා චිත්‍රපට  බ්ලූරේ තැටි වල ලබා ගත හැක. මෙවන් 3D බ්ලූරේ තැටි නැරඹීමට 3D බ්ලූරේ යන්ත්‍රයක් හා 3D රූපවාහිනී යන්ත්‍රයක් අවශ්‍ය වේ.

රටවල් ගණනාවක 3D රූපවාහිනී සම්ප්‍රේෂණ පරීක්‍ෂණ මට්ටමින් විකාශනය කෙරේ. මෙයට අමතරව කේබල් TV හා චන්ද්‍රිකා රූපවාහිනී මාර්ගයෙන්ද 3D වැඩසටහන් සමහර අවස්ථාවල විකාශනය වේ.


                                                                              © කුසල් ඈපා



No comments:

Post a Comment