අන්තර්ජාලය ලොව පුරා ඇති එකිනෙක හා සම්බන්ධ
පරිගණක හා සර්වර් දහස් ගණනකින් සමන්විත සන්නිවේදන ජාලයකි. අන්තර්ජාලය තුල විශාල
තොරතුරු සම්භාරයක් හුවමාරු වන අතර අන්තර්ජාල භාවිතා කරන්නන් විශ්ව විසිර වියමන (World Wide Web) සැරිසැරීම, ඊමේල් පණිවිඩ යැවීම, බහුමාධ්‍ය දහරා (multimedia streaming) ලබා ගැනීම, VoIP තාක්‍ෂණය
භාවිතයෙන් ඇමතුම් ලබා ගැනීම ආදිය සඳහා අන්තර්ජාලය යොදා ගනී.
අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීමට අවශ්‍යතා කිහිපයක්
සම්පූර්ණ කළ යුතුවේ.
·
අන්තර්ජාලයට
ප්‍රවේශ වීමට අවශ්‍ය සන්නිවේදන උපකරණයක්, මෙය පරිගණකයක්, ටැබ්ලට් පරිගණකයක්, ජංගම
දුරකථනයක් විය හැක.
·
අන්තර්ජාල
සේවා සපයන ආයතනයක් (ISP – Internet Service Provider) සමග සම්බන්ධතාවයක්, මෙය ඩයලිත මෝඩමයක්, ADSL, ජංගම දුරකථනයක දත්ත සන්නිවේදන සම්බන්ධතාවයක් හෝ
ජංගම දුරකථන ජාලය භවිතා කරන නොරැහැන් මෝඩමයක් (ඩොන්ගලයක්) මගින් විය හැක.
·
අන්තර්ජාල
සේවා සපයන සමාගමක් සමග අන්තර්ජාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා පරිශීලක ගිණුමක් (internet user account). මේ සඳහා මුලින් ගෙවීමක් කිරීමට අවශ්‍ය විය හැක.
දුරකථන සේවා සපයන සමාගම් ද අන්තර්ජාල සේවා සපයන
ආයතන (ISP) ලෙස ක්‍රියා කරන අතර මෙයට අමතරව වෙනත් ISP ආයතන ද ඇත.
ISP මගින් අන්තර්ජාලය වෙත සම්බන්ධතාවය සපයා දෙනු
ලබයි. පරිගණකයක් ISP ආයතනයක් හා සම්බන්ධ වූ පසු එම පරිගණකය
අන්තර්ජාලයේ කොටසක් ලෙස අන්තර්ජාලයට එක් වේ. අන්තර්ජාලයේ ඇති තොරතුරු සම්භාරය,
පරිගණක හා සර්වර් දහස් ගණනක් ඇති ජාල වල ඇති සර්වර්වල ගබඩා (host) කර ඇත. පුද්ගලික, ව්‍යාපාරික, රජයේ, අධ්‍යාපනික
ආදී ආයතනවලට මෙවන් ජාල අයත්වේ. මෙම ජාල වල ඇති සර්වර් වල ඇති තොරතුරු අන්තර්ජාල ප්‍රවේශය
තුලින් ක්‍ෂණිකව ලබාගත හැක.
විශ්ව විසිර වියමන (WWW-World Wide Web)
WWW යනු එකිනෙක හා සම්බන්ධ පරිගණක හා සර්වර් වල ඇති
අති විශාල තොරතුරු සම්භාරයකි. විශ්ව විසිර වියමන සැරිසරා මෙම තොරතුරු පිරික්සීමට
බ්රවුසර් (browser) මෘදුකාංගයක් අවශ්‍ය වේ. Internet Explorer(IE), Firefox, Chrome ආදිය වැඩි වශයෙන් භාවිතා වන බ්රවුසර් මෘදුකාංග
වේ. මෙවන් බ්රවුසර් භාවිතයෙන් ලොව පුරා ඇති වෙබ් අඩවි සැරසැරීමට හැකි වන අතර
අධිසන්ධාන (hyperlink) සහිත වෙබ් පිටු මෙමගින් දැකගත හැක. අධිසන්ධාන
මගින් වෙනත් පිටු වලට පිවිසීමට හැක. තමන්ට අවශ්‍ය තොරතුරු සෙවීමට ගූගල් (Google), යාහු (Yahoo), බින්ග්
(Bing) වැනි සෙවුම් යන්ත්‍ර (search engine) මෘදුකාංගයක් භාවිතා කළ හැක. විස්තර සෙවීමට අවශ්‍ය
වචන එකක් හෝ කිහිපයක් (keywords) ලබා දුන් පසු එම සෙවුම් යන්ත්‍ර මෘදුකාංගය මගින් ඒ සම්බන්ධ
තොරතුරු ඇති පිටු දහස් ගණනක් ගෙනහැර දක්වයි. මෙම තොරතුරු ලේඛන වශයෙන් (text), රූප සටහන්, ප්‍රවෘත්ති, ශ්‍රව්‍ය (audio), වීඩියෝ ආදී ඕනෑම ආකාරයකට තිබිය හැක.
ඊමේල් (Email)
ඊමේල් පණිවිඩ ප්‍රවාහනය කිරීම අන්තර්ජාලය තුලින්
සිදු කෙරේ. ඊමේල් පණිවිඩ යැවීමට හා
ලබාගැනීමට ඊමේල් ලිපිනයක් (email address) තිබිය යුතුය. ISP ආයතනයක්
සමග පරිශීලක ගිණුමක් තුලින් හෝ අන්තර්ජාලයේ ඊමේල් ලබා දෙන වෙබ් අඩවියකින් ඊමේල්
ලිපිනයක් ලබා ගත හැක. Gmail,
Yahoo, Hotmail ආදිය
අන්තර්ජාලයේ නොමිලේ ඊමේල් ලබා ගත හැකි ජනප්‍රිය වෙබ් අඩවි වේ. ඊමේල් පණිවිඩ වල එම
පණිවිඩයට අමතරව එයට ඇමුණුමක් (attachment) ලෙස ලිපි ලේඛන (documents),
ශ්‍රව්‍ය දෘශ්‍ය (audio video), ඡායාරූප ආදිය එම පණිවිඩය සමග යැවිය හැක.
අන්තර්ජාල දුරඇමතුම් (Internet Telephony)
අන්තර්ජාලය තුලින් දුරබැහැර සිටින අයකුට ඇමතුම්
ලබා ගැනීමට VoIP (Voice over
Internet Protocol) තාක්‍ෂණය
යොදා ගැනේ. අන්තර්ජාලයට සම්බන්ධවී සිටින පාර්ශව දෙකකට හෝ වැඩි ගණනකට මෙමගින්
නොමිලේ ඇමතුම් ලබාගත හැක. විදේශ රටවල සිටින අය සමග කථා කිරීමට මෙය ඉතා ජනප්‍රිය ක්‍රමයකි.
මේ සඳහා Skype, Yahoo, Viber
වැනි මෘදුකාංග වැඩි වශයෙන් භාවිතා වේ. පරිගණකයේ
වෙබ් කැමරාවක් ඇත්නම් කථනය සමග රූප සහිතව අමතුම ලබාගත හැක. අන්තර්ජාලය තුලින්
ගෙවීමක් කිරීමෙන් පසු සාමාන්‍ය දුරකථනවලටද ඇමතීමේ පහසුකම් ඇත. මෙමගින් ජාත්‍යන්තර
සෘජු දුරකථන ගාස්තුවලට වඩා අඩු ගාස්තුවලට විදේශ රටවල දුරකථනවලට ඇමතුම් ලබාගත හැක.
දුරස්ථ ප්‍රවේශය (Remote Access)
දුරස්ථ ප්‍රවේශ පහසුකම් මගින් කාර්යාලයක, ව්‍යාපාරික,
අධ්‍යාපනික වැනි ආයතනයක සේවය කරන අයකුට එහි පරිගණක ජාලයට සම්බන්ධ අතාත්වික පුද්ගලික
ජාලයක් (VPN -Virtual
Private Network) ඇති
අවස්ථාවක වෙනත් අන්තර්ජාල පහසුකම් සහිත ස්ථානයක සිට එම ආයතනයේ පරිගණක ජාලයට ප්‍රවේශ
විය හැක. තම සේවා ස්ථානයේ පරිගණක ජාලයට දුර ස්ථානයක සිට මෙසේ ප්‍රවේශය ලබා ගැනීම
ඉතා ප්‍රයෝජනවත් වන අතර තම නිවසේ සිට පවා සේවය සැපයීමට මෙමගින් එම ආයතන වල
සේවකයන්ට හැකිවේ.
බහුමාධ්‍ය දහර (Multimedia streaming)
හඬ හා රූප සහිත රේඩියෝ හා රූපවාහිනී චැනල
අන්තර්ජාලය තුලින් මෙමගින් නැරඹීමට හා ශ්‍රවණය කිරීමට හැක. රටවල් ගණනාවක රේඩියෝ හා
රූපවාහිනී චැනල දහස් ගණනක් මෙසේ අන්තර්ජාලය තුලින් ලබාගත හැක. තමන් නිපදවූ වීඩියෝ
ක්ලිප් Youtube වැනි වෙබ් අඩවියකට උඩුගත (upload) කර ලොව පුරා සිටින අයට නැරඹීමට සැළැස්වීම මෙහි
එක් උදාහරණයකි.
අන්තර්ජාලය තුල සිංහළ භාෂාව භාවිතය
සිංහළ භාෂාව අන්තර්ගත තොරතුරු රාශියක් අඩංගු
අන්තර්ජාල වෙබ් අඩවි දැන් බොහෝ ගණනක් අන්තර්ජාලය තුල ඇත. වින්ඩෝස් විස්ටා හා ඉන්
පසු නිකුත් වූ මෙහෙයුම් පද්ධතිවල සිංහළ යුනිකෝඩ් අක්‍ෂර අන්තර්ගතව ඇති අතර එයට පෙර
මෙහෙයුම් පද්ධති වලට සිංහළ අක්‍ෂර (fonts)
වෙනම ස්ථාපනය කළ හැක. සිංහළ අක්‍ෂර ගනනාවක් ඇති
අතර රජය අනුමත හා ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල වන්නේ සිංහළ යුනිකෝඩ් අක්‍ෂරය. වින්ඩෝස්
මෙහෙයුම් පද්ධතියේ අන්තර්ගතව ඇත්තේ ද මෙම යුනිකෝඩ් අක්‍ෂරයි. සිංහළ වෙබ් අඩවි, ප්‍රවෘත්‍ති
පත්‍ර, බ්ලොග් අඩවි ආදිය විශාල ගණනක් දැන් අන්තර්ජාලයේ ඇත. සිංහළ රේඩියෝ හා
රූපවාහිනී චැනල ද අන්තර්ජාලයෙන් ලබාගත හැක.
© කුසල් ඈපා
No comments:
Post a Comment