Monday, July 12, 2021

චන්ද්‍රිකා රූපවාහිනී සේවා

 

චන්ද්‍රිකා රූපවාහිනී සේවා නැරඹීම සඳහා අභ්‍යවකාශයේ ඇති රූපවාහිනී සංඥා විකාශනය කරන චන්ද්‍රිකාවකින් සම්ප්‍රේෂණය වන සංඥා ග්‍රහණය කරගැනීම අවශ්‍ය වේ. රූපවාහිනී සංඥා විකාශනය කරන චන්ද්‍රිකා අභ්‍යවකාශයේ 36000km ඉහළින් කක්‍ෂයක රඳවා ඇත. මෙම කක්‍ෂය නිරක්‍ෂයට මදක් ඉහළින් ඇති අතර ආතර් ක්ලාර්ක් සිහිවීම පිණිස ක්ලාර්ක් කක්‍ෂය නමින් හැඳින්වේ.  මෙම කක්‍ෂයෙහි චන්ද්‍රිකා විශාල ගණනක් ඇති අතර අංශක 2ක පමණ පරතරයකින් සමහර චන්ද්‍රිකා පිහිටා ඇත. මෙම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණ වේගයට සමානව ගමන් ගන්නා අතර පෘථිවියට සාපේක්‍ෂව එකම ස්ථානයේ පිහිටා ඇත.

පෘථිවියේ පිහිටි චන්ද්‍රිකා උඩු සම්බන්ධතා මධ්‍යස්ථානයක් (satellite uplink station) මගින් රූපවාහිනී සංඥා මෙවන් චන්ද්‍රිකා වෙත සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම චන්ද්‍රිකා මගින් ලබා ගන්නා එම සංඥා වෙනත් රේඩියෝ තරංග සංඛ්‍යතයක, පෘථිවියේ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි නැවත ප්‍රතිසම්ප්‍රේෂණය කරනු ලැබේ. පෘථිවියේ සිට ඩිෂ් (satellite dish) වර්ගයේ පරාවලයික ඇන්ටෙනාවක් භාවිතයෙන් මෙම චන්ද්‍රිකා රූපවාහිනී සංඥා ග්‍රහණය කරගත හැක.

චන්ද්‍රිකා රූපවාහිනී සේවා වල ඇති විශේෂ වාසිය සාමාන්‍ය රූපවාහිනී සංඥාවලට වඩා ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම රටවල් ගණනාවක රූපවාහිනී චැනල විශාල ගණනක් චන්ද්‍රිකා රූපවාහිනී සේවා මගින් නැරඹිය හැක.

ඩිෂ් වර්ගයේ චන්ද්‍රිකා රූපවාහිනී ඇන්ටෙනාවක් හා චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් (satellite TV receiver) සමග රූපවාහිනී යන්ත්‍රයක් මෙවන් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නැරඹීම සඳහා අවශ්‍ය වේ.

චන්ද්‍රිකා රූපවාහිනී සේවා ඇනලොග් හා ඩිජිටල් සේවා වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කළ හැක.

                                            

ඇනලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවා

පෙරදී බොහෝ චන්ද්‍රිකා රූපවාහිනී සේවා සඳහා ඇනලොග් ක්‍රමයට සංඥා විකාශනය කළ අතර ඒ සඳහා C තරංගමාලාව (C Band) භාවිතයට ගැනුනි.  මෙවන් C තරංගමාලාවේ චන්ද්‍රිකා රූපවාහිනී චැනල ග්‍රහණය කර ගැනීමට විශාල ප්‍රමාණයේ ඩිෂ් ඇනටෙනා අවශ්‍ය විය. ඇනලොග් චන්ද්‍රිකා රූපවාහිනී චැනල වල PAL, SECAM හෝ NTSC වීඩියෝ ප්‍රමිතීන් වලින් එකක් භාවිතා වේ. නව තාක්‍ෂණික නිර්මාණ හා වැඩිදියුණු කිරීම් සමග ඩිජිටල් චැනල වල ඇති විශේෂ වාසි නිසා ඇනලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවා භාවිතය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

 

ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා

බොහෝ චන්ද්‍රිකා රූපවාහිනී චැනල දැන් ඩිජිටල් සංඥා භාවිතයෙන් විකාශනය කෙරේ. මෙනිසා තරංග කලාපයක් තුළ වැඩි චැනල ගණනක් සම්ප්‍රේෂණය කළ හැක. ඩිජිටල් රූපවාහිනී චැනල වල රූප හා ශබ්ද වල තත්වය ඇනලොග් චැනල වලට වඩා බෙහෙවින් උසස් වේ. ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී චැනල ග්‍රහණය කර ගැනීමට ඩිජිටල් වරගයේ චන්ද්‍රිකා රිසිවරයක් (Digital satellite TV receiver) අවශ්‍ය වේ.

 

DVB-S

මෙවන් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන DVB-S (Digital Video Broadcasting – Satellite) යන ප්‍රමිති නාමයෙන් හැඳින්වේ.   DVB-S වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කළ DVB-S2 නම් ප්‍රමිතිය නුදුරු අනාගතයේ භාවිතයට ගැනෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඩිජිටල් රූපවාහිනී සංඥා MPEG (Motion/Moving Picture Experts Group) ක්‍රමයට හැකිළවීමෙන් (compressed) සම්ප්‍රේෂණය කෙරේ.

 

MPEG-2/MPEG-4

බොහෝ ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී විකාශනවල MPEG-2 රූප හැකිළවීමේ (compression) ක්‍රමය ඩිජිටල් සංඥා කේතීකරණය (encoding) සඳහා භාවිතා වේ. අළුතින් නිර්මාණය කළ MPEG-4 රූප හැකිළවීමේ ක්‍රමයද දැන් ක්‍රමයෙන් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන සඳහා භාවිතයට ගැනෙමින් පවතී. MPEG-4 ක්‍රමයේදී භාවිතා වන තරංග කලාප පළල (bandwidth) වෙනත් රූප හැකිළවීමේක්‍රම වලට වඩා අඩුවන අතර එමගින් වැඩි චැනල ප්‍රමාණයක් විකාශනය කිරීමේ හැකියාව ලැබේ. අධිවිභේදී (HD – High Definition) චැනල සඳහා දැන් වැඩි වශයෙන් MPEG-4 ක්‍රමය භාවිතයට ගැනෙමින් පවතී. MPEG-4 හැකිළවීමේ ක්‍රමයට කේතීකරණය කළ සංඥා සහිත චන්ද්‍රිකා රූපවාහිනී චැනල නැරඹීමට, MPEG-4 විකේතීකරණ (decoding) පහසුකම සහිත චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් අවශ්‍ය වේ.

 

සම්මත විභේදන(SDStandard Definition) / අධි විභේදන (HDHigh Definition)

ඩිජිටල් රූපවාහිනී චැනල SD හා HD වශයෙන් වර්ග දෙකකි.

HD යනු SD වලට වඩා පැහැදිලි හා තියුණු (sharp) රූප දර්ශනය කළ හැකි වීඩියෝ ප්‍රමිතියකි.

HDTV රූප රාමුවක් SDTV රූප රාමුවකට වඩා දෙගුණයක රේඛා ප්‍රමාණයකින් සමන්විත වන අතර එමගින් වඩාත් පැහැදිලි හා විස්තරාත්මක රූප දර්ශනය කර ගැනීමේ හැකියාව ඇත.

HD සම්ප්‍රේෂණ මගින් සෘජු කෝණාස්‍ර පුළුල් තිර දර්ශන හා ඩොල්බි ඩිජිටල් 5.1 සරවුන්ඩ් සවුන්ඩ් පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත.

ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර SD හෝ HD වර්ගයේ ටියුනර් වලින් යුක්ත වේ. SD වර්ගයේ ටියුනරයකින් SD වර්ගයේ ඩිජිටල් රූපවාහිනී සංඥා විකේතනය (decode) කර රූපවාහිනී තිරයකට ලබා දේ. HD ටියුනරයක් සහිත චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයකින් අධි විභේදන HD වර්ගයේ රූපවාහිනී සංඥා විකේතනය කර HD රූප දර්ශනය කළ හැකි රූපවාහිනී යන්ත්‍රයකට ලබාදේ. සෑම චන්ද්‍රිකා රූපවාහිනි චැනලයක ම HD වර්ගයේ සංඥා භාවිතා නොකෙරේ. සාමාන්‍යයෙන් HD ටියුනරකින් SD වර්ගයේ සංඥා ද විකේතනය කළ හැක. HD චන්ද්‍රිකා රූපවාහිනී චැනල නැරඹීමට චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරය HD වර්ගයේ ටියුනරයකින් සමන්විත විය යුතු අතර රූපවාහිනී තිරයද HD රූප දරශනය කිරීමේ හැකියාවෙන් යුක්ත විය යුතුය. මෙවන් අවස්ථාවක සාමාන්‍ය (HD නොවන) රූපවාහිනී තිරයක් භාවිතා කළ හොත් උසස් තත්වයකින් යුක්ත HD රූප දර්ශනය නොවේ.




ඩිෂ් ඇන්ටෙනා

චන්ද්‍රිකා රූපවාහිනී සංඥා ග්‍රහණය කර ගත හැකි ඩිෂ් වර්ගයේ ඇන්ටෙනා පරාවලයික හැඩයකින් යුක්ත වන අතර 45cm තරම් කුඩා හෝ 3m තරම් විශාල විෂ්කම්භයකින් යුක්ත විය හැක. ඩිෂ් ඇන්ටෙනාවක කාර්යය අභ්‍යවකාශයේ සිට පැමිණෙන චන්ද්‍රිකා රූපවාහිනී සංඥා එහි පෘෂ්ඨියෙන් එක්ලස් කර එහි නාභිය (focal point)  වෙත පරාවර්තනය කිරීමයි. ඩිෂ් ඇන්ටෙනාවේ නාභියේ ඇති feed horn නම් උපකරණය මගින් මෙසේ පරාවර්තනය කළ සංඥා ග්‍රහණය කර ගනු ලබයි. චන්ද්‍රිකා පියසටහ‍නෙන් (footprint), එනම් චන්ද්‍රිකා සංඥා පෘථිවියේ එල්ල කර ඇති භූමි ප්‍රදේශ‍යෙන් ඈතට යත්ම ලැබෙන සංඥා වල ප්‍රබලතාව හීන වන අතර දුර්වල සංඥා ග්‍රහණය කරගැනීම සඳහා විශාල ප්‍රමාණයේ ඩිෂ් ඇන්ටෙනා අවශ්‍ය වේ.

                                                       

ku තරංගමාලාව සඳහා ඩිෂ් ඇන්ටෙනාවක්  


                                                              C තරංගමාලාව සඳහා 2m විශ්කම්භය ඇති ඩිෂ් ඇන්ටෙනාවක්

 

 

LNBF (Low Noise Block Converter Feed horn)

ඩිෂ් ඇන්ටෙනාවේ නාභියේ ඇති LNBF උපකරණය මගින් ඩිෂ් ඇන්ටෙනාවේ පෘෂ්ඨියෙන් පරාවර්තනය වන සංඥා ග්‍රහණය කර ගනු ලබයි. අනතුරුව එම සංඥා ප්‍රගුණ කර (amplify) අඩු සංඛ්‍යාත තරංග මාලාවකට හරවා කේබලයක් හරහා චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයකට ලබා දේ. මෙසේ කේබලයක් මාර්ගයෙන් යවන සංඥා 950-1450 MHz සංඛ්‍යාතයේ තරංග වලින් යුක්තවේ.

                                                               


 

කේබලයක් හරහා යැවීමේදී මෙසේ අඩු සංඛ්‍යාතයකින් යුක්ත තරංග මාලාවකට හැරවෙන්නේ එසේ යැවීමේදී සංඥා වලට වන හානිය අවම කර ගැනීමටය. චන්ද්‍රිකා රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය වන  ඉහල සංඛ්‍යාත වල සංඥා කේබලයක් තුලින් යැවීමේදී විශාල වශයෙන් හානියට පත්වන නිසා මෙසේ අඩු සංඛ්‍යාතයකට හරවා යවනු ලැබේ. LNBF ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සරළ ධාරා (DC-Direct Current) විදුලි බලය, බොහෝ අවස්ථාවලදී මෙසේ සංඥා ලබා දෙන කේබලය හරහාම ලබා දේ.

 

ඩිෂ් ඇන්ටෙනා දිශාගත කිරීම (alignment)

චන්ද්‍රිකා රූපවාහිනී සංඥා ග්‍රහණය කර ගැනීමට ඩිෂ් ඇන්ටෙනාව සංඥා සම්ප්‍රේෂණය කරන චන්ද්‍රිකාව වෙත නිවැරදිව එල්ල කළ යුතුවේ. එය සුළු ප්‍රමාණයකින් හෝ නියමිත දිශාවෙන් වෙනස් වුවහොත් අවශ්‍ය චන්ද්‍රිකාවෙන් ලැබෙන සංඥා ග්‍රහණය කර ගැනීමට අපහසු වේ. ඩිෂ් ඇන්ටෙනාව ප්‍රමාණයෙන් විශාල වත්ම එය එල්ල කළ යුතු දිශාවේ නිවැරදිතාවය සියුම්  විය යුතුය. එකම චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා සංඥා සඳහා ඩිෂ් ඇන්ටෙනාව එල්ල කළ යුතු දිශාව පෘථිවියේ එක් එක් ස්ථානවලට අනුව වෙනස් වන අතර ඩිෂ් ඇන්ටෙනාව ස්ථාපිත ස්ථානය අනුව එය ගණනය කර ගත යුතුවේ. රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය කරන චන්ද්‍රිකා ස්ථානගත කර ඇති ක්ලාර්ක් කක්‍ෂය නිරක්‍ෂයට ඉහළින් පිහිටා ඇති නිසා උත්තරාධගෝලයේ රටවලදී දකුණු දිශාවටද දක්‍ෂිණාර්ධගෝලයේ රටවලදී උතුරු දිශාවටද ඩිෂ් ඇන්ටෙනාව එල්ල කළ යුතු වේ. නිරක්‍ෂය ආසන්නයේ ඇති රටවලදී ඩිෂ් ඇන්ටෙනාව ඉහළට එල්ල කළ යුතු වේ. සමහර අවස්ථාවලදී  ඩිෂ් ඇන්ටෙනාවේ නාභිය පිහිටා ඇති ස්ථානය අනුව එය වෙනත් දිශාවකට වුවද එල්ල කර නියමිත දිශාවෙන් පැමිණෙන සංඥා ග්‍රහණය කර ගත හැක.

 

උද්දිගංශය හා උන්නතාංශය (Azimuth & Elevation)

ඩිෂ් ඇන්ටෙනාවක් චන්ද්‍රිකාව වෙත එල්ල කිරීම එය පෘථිවියේ ස්ථාපිත ස්ථානය අනුව ගණනය කළ උද්දිගංශය හා උන්නතාංශය (Azimuth & Elevation) අනුව කළ යුතුය. උද්දිගංශය යනු පෘථිවියේ චුම්බක උතුරු දීශාවේ සිට දැක්වෙන තිරස් දිශාවේ කෝණය වන අතර එය වම දකුණ දිශාව වශයෙන් ද දැක්වේ. උන්නතාංශය  යනු පෘථිවි තලයේ සිට සිරස් දිශාවට ඇති කෝණය වන අතර එය උඩු යටි දීශාව වශයෙන් ද දැක්වේ. සාමාන්‍යයෙන් ඩිෂ් ඇන්ටෙනාව රඳවන බ්‍රැකට්ටුවේ මෙම උන්නතාංශ කෝණයන් සලකුණු කර ඇත.

පෘථිවියේ එක් එක් ස්ථානවල සිට චන්ද්‍රිකා සඳහා ඇති උද්දිගාශ හා උන්නතාංශ  ගණනය කර ගැනීමට පරිගණක මෘදුකාංග භාවිතා කළ හැක. ඩිෂ් ඇන්ටෙනාව ස්ථාපිත ස්ථානයේ අක්ෂාංශ හා දේශාංශ ඇතුළු කළ විට අවශ්‍ය චන්ද්‍රිකාව සඳහා ඩිෂ් ඇන්ටෙනාව එල්ල කළ යුතු උද්දිගංශය හා උන්නතාංශය මෙවන් මෘදුකාංග මගින් ලබා දේ. එසේ නැතහොත් ඇන්ටෙනා එල්ල කළ යුතු දිශා දක්වන වගු භාවිතයෙන් හෝ අන්තර්ජාලය භාවිතයෙන් මෙම අගයන් ලබා ගත හැක.

 

ඇලය (tilt)

ඩිෂ් ඇන්ටෙනාවේ LNB එකකට වඩා වැඩි ගනනක් ඇත්නම් (චන්ද්‍රිකා එකකට වඩා වැඩි ගනනකින් සංඥා ලබා ගැනීමට) එහි ඇලය ද නියමිත පරිදි සැකසිය යුතුවේ. 

ඩිෂ් ඇන්ටෙනාවක්  සෑම විටම බාධාවලින් තොරව අභ්‍යවකාශය පෙනෙන ස්ථානයක ස්ථාපිත කළ යුතුය.

රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය කරත චන්ද්‍රිකා වලින් ලැබෙන සංඥා අභ්‍යවකාශයේ 36,000km  දුර ගමන් කර පෘථිවියට ලඟා වන බැවින් එම සංඥා ඉතා දුර්වල තත්වයෙන් පවතී. මෙම දුර්වල සංඥා ඩිෂ් ඇන්ටෙනාවේ පෘෂ්ඨිය ආවරණය ප්‍රදේශයේදී එක් රැස් කරගනු ලබයි. ඩිෂ් ඇන්ටෙනාව ප්‍රමාණයෙන් විශාල වත්ම එක්රැස් කර ගත හැකි සංඥා ප්‍රමාණය වැඩිවේ.

සාමාන්‍යයෙන් එක් ඩිෂ් ඇන්ටෙනාවකින් නිවැරදිව එක් අවස්ථාවක ලබා ගත හැක්කේ එක් චන්ද්‍රිකාවකින් ලැබෙන සංඥා පමණි. චන්ද්‍රිකා වැඩි ගණනකින් සංඥා ලබා ගැනීමට අවශ්‍ය නම් ඒසඳහා වෙනත් උපක්‍රම භාවිතා කළ හැක.

 

බහු චන්ද්‍රිකා සංඥා ග්‍රහණය

චන්ද්‍රිකා එකකට වැඩි ගණනක සංඥා ලබා ගැනීමට ඩිෂ් ඇන්ටෙනා කිහිපයක් එම එක් එක් චන්ද්‍රිකාව වෙත එල්ල කර භාවිතා කළ හැක. වරකට නැරඹීමට අවශ්‍ය චන්ද්‍රිකාවේ සංඥා, ස්විචයක් භාවිතා කර තෝරා ගත හැක. ඩිෂ් ඇන්ටෙනා කිහිපයක් භාවිතයෙන් තොරව ද චන්ද්‍රිකා කිහිපයකින් සංඥා ලබා ගැනීමේ උපක්‍රම ඇත.

එක් ඩිෂ් ඇන්ටෙනාවක LNB කිහිපයක් එහි එක් එක් නාභිවල රඳවා භාවිතා කිරීම එක් ක්‍රමයකි. මෙමගින් චන්ද්‍රිකා කිහිපයකින් විවිධ කෝණ වලින් ලැබෙන සංඥා ඩිෂ් ඇන්ටෙනාවේ නාභි  කිහිපයකට පරාවර්තනය කර එම නාභි වල ඇති LNB මගින් එක් එක් චන්ද්‍රිකාවට අයත් සංඥා ග්‍රහණය කර ගනු ලැබේ. නැරඹීමට අවශ්‍ය චන්ද්‍රිකාවේ සංඥා, ස්විචයක් භාවිතා කර තෝරා ගත හැක.

                                                    


                                 චන්ද්‍රිකා කිහිපයකින් සංඥා ග්‍රහණය කළ හැක LNB ගනනාවකින් යුත් ඩිෂ් ඇන්ටෙනාවක්

 

මෙයට වඩා තරමක් ව්‍යාකූල අනෙක් ක්‍රමය වනුයේ මෝටරකින් හැරවිය හැකි ඩිෂ් ඇන්ටෙනාවක් භාවිතා කිරීමයි. ඇන්ටෙනා දිශා පාලක උපකරණයක් (positioner) මගින් ලබාදෙන උපදෙස් අනුව ඩිෂ් ඇන්ටෙනාව මෝටරයක් මගින් අවශ්‍ය එල්ලයට හැරවිය හැක. මෙම දිශා පාලක උපකරණය වෙනම උපකරණයක් ලෙස හෝ චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයේ ඇතුලත්ව ඇති කොටසක් (built in) ලෙස ලබා ගත හැක. එමගින් මෝටරය හැරවිය යුතු දිශාව පාලනය කරන සංඥා මෝටරය වෙත ලබා දේ. මෙම දිශා පාලක සංඥා වෙනම කේබලයක් මගින් හෝ ඇන්ටෙනා සංඥා ලබා දෙන කේබලය හරහා ද මෝටරය වෙත යැවීමේ හැකියාව ඇත.

 

චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ තරංගමාලා

චන්ද්‍රිකා රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය ප්‍රධාන වශයෙන් තරංගමාලා දෙකක සිදුකෙරේ.

 

C තරංග මාලාව (C Band)

C තරංගමාලාව 3.7 – 8 GHz දක්වා සංඛ්‍යාත පරාසයක ව්‍යාප්ත වන අතර C තරංගමාලාවේ 3.7 -4.2 GHz දක්වා කොටස චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ සඳහා යොදා ගැනේ. C තරංගමාලාව සඳහා භාවිතා වන ඩිෂ් ඇන්ටෙනා 1.8 – 3.7 m දක්වා විෂ්කම්භ වලින් යුක්ත වන අතර 2m විෂ්කම්භ වලින් යුත් ඇන්ටෙනා වැඩි වශයෙන් භාවිතා කෙරේ.  පෙරදී භාවිතා වුන ඇනලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවා සඳහා C තරංග මාලාව වැඩි වශයෙන් භාවිතයට ගැනුනි.  C තරංගමාලාව, චන්ද්‍රිකා රූපවාහිනී සේවා සඳහා භාවිතා වන අනෙක් තරංගමාලාව වන Ku තරංගමාලාවට වඩා හොඳින් අයහපත් කාලගුණ තත්ව වල දී හොඳ රූප ලබා දීමේ දීමේ හැකියාව ඇත.

 

Ku තරංග මාලාව (Ku Band)

Kurtz (Ku) තරංග මාලාව K තරංග මාලාව වශයෙන්ද හැඳින්වෙන අතර 12  - 18 GHz දක්වා සංඛ්‍යත පරාසයක ව්‍යාප්ත වේ. මෙම Ku තරංගමාලාවේ 11.7 – 12.7 GHz සංඛ්‍යාත තරංග පරාසය චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ සඳහා භාවිතා කෙරේ. Ku තරංග මාලාව භාවිතා කරන ඉහළ තරංග සංඛ්‍යාතය, වර්ෂා අවස්ථාවලදී සංඥා වලට බාධා පැමිණවීමට හේතුවකි.  දැනට සම්ප්‍රේෂණය වන බොහෝ ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ සඳහා Ku තරංග මාලාව භාවිතා කෙරේ. Ku තරංග මාලාවේ චන්ද්‍රිකා රූපවාහිනී සංඥා වැඩි සම්ප්‍රේෂණ බලයකින් සම්ප්‍රේෂණය කෙරෙන අතර, 300cm – 1m අතර විෂ්කම්භයක් ඇති කුඩා ඩිෂ් ඇන්ටෙනා මෙම තරංගමාලාව සඳහා භාවිතා කෙරේ. මෙහිදී  යොදා ගැනෙන වැඩි සම්ප්‍රේෂණ බලයත් ඉහළ තරංග සංඛ්‍යාතයත් නිසා Ku තරංග මාලාව සඳහා කුඩා ප්‍රමාණයේ ඩිෂ් ඇන්ටෙනා භාවිතා කළ හැක.

 

චන්ද්‍රිකා සංඥා පියවර සටහන (Satellite footprint)

චන්ද්‍රිකා සංඥා පියවර සටහන යනුවෙන් දැක්වෙන්නේ  එක් චන්ද්‍රිකාවක සංඥා පෘථිවියේ ආවරණය කරන භූමි ප්‍රදේශයයි.  විවිධ චන්ද්‍රිකා වලින් පෘථිවියේ එක් එක් භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි වෙනස් සංඥා පියවර සටහන් ඇත. අවශ්‍ය චන්ද්‍රිකාවෙන් සංඥා ලබා ගැනීමට ඩිෂ් ඇන්ටෙනාව හා චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරය එම චන්ද්‍රිකාවේ සංඥා ආවරණය වන පියවර සටහන සහිත භූමි ප්‍රදේශයේ පිහිටා තිබිය යුතුය.  මෙම පියවර සටහනේ මැද ප්‍රදේශයේ දී  සංඥා වඩාත් ප්‍රබල වන අතර කුඩා ඩිෂ් ඇන්ටෙනා භාවිතයෙන් අවශ්‍ය පරිදී සංඥා එක්ලස් කරගත හැක. පියවර සටහන මායිමේ ප්‍රදේශවලදී ලැබෙන සංඥා වල බලය අඩු වන අතර එවන් ප්‍රදේශවල දී වඩා විශාල ඩිෂ් ඇන්ටෙනා අවශ්‍ය විය හැක.

 

නොමිලේ සම්ප්‍රේෂණය වන චැනල් (FTA – Free to Air Channels)

නොමිලේ නැරඹිය හැකි FTA වර්ගයේ චන්ද්‍රිකා රූපවාහිනී චැනල ග්‍රහණය කර ගැනීමට සාමාන්‍ය FTA චැනල ලබාගත හැකි චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් භාවිතා කළ හැක. මෙවන් චැනල් සංකේතනය (encrypt) කිරීමෙන් තොරව සම්ප්‍රේෂණය කෙරෙන අතර මුලින් යොදන ඩිෂ් ඇන්ටෙනාවේ හා ග්‍රාහක උපකරණ වල වියදමට අමතරව වෙනත් ගෙවීමකින් තොරව නැරඹිය හැක.

 

සංකේතනය කරන ලද චැනල් (Encrypted channels)

සංකේතනය කරන ලද චන්ද්‍රිකා රූපවාහිනී චැනල එවන් චැනල් විසංකේතනය (decrypt) කිරීමට  හැකියාව ඇති චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් භාවිතයෙන් ග්‍රහණය කර නැරඹීමට හැක. චැනල සංකේතනය කිරීම මගින් ගෙවීමක් කරන ග්‍රාහකයන්ට පමණක් එම චැනල නැරඹීමට සීමා කළ හැක. මේ සඳහා භාවිතා කරන චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර වල යස පතක් (smart card) ඇතුළු කිරීමට විවරයක් ඇත. අදාල චැනල සඳහා ගෙවීමක් කරන ලද යස පත ඇතුළු කිරීමෙන එම චැනල නැරඹිය හැක.

සෑම චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයකම එයට විශේෂිත වූ යොමු අංකයක් (address) අන්තර්ගතව ඇත. චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ සමාගම් මගින් මෙම යොමු අංකය භාවිතයෙන්, ගෙවීම් කරන ලද චැනල පමණක් එම ගෙවීම් කරන කාල සීමාවට නැරඹිය හැකි පරිදී, විසංකේතනය කර නැරඹීමට සලස්වනු ලැබේ.

චන්ද්‍රිකා රූපවාහිනී චැනල සංකේතනය කිරීම සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කෙරේ. ඩිජිටල් චැනල් සංකේතනය කිරීම සඳහා බහුලවම භාවිතා වන්නේ Irdeto නම් වූ ක්‍රමයයි. Nagravision, Viaccess, Wegener, Powervu නමින් හැඳින්වෙන ක්‍රමද ඩිජිටල් චැනල සංකේතනය සඳහා භාවිතා කෙරේ.

 

චන්ද්‍රිකා රේඩියෝ චැනල් (DTR)

රූප දර්ශනයෙන් තොර චන්ද්‍රිකා රූපවාහිනී චැනල සම්ප්‍රේෂණය වන සංඛ්‍යාතවල චන්ද්‍රිකා රේඩියෝ චැනලද සම්ප්‍රේෂණය වන අතර මෙයින් බොහොමයක් FTA වර්ගයේ නොමිලයේ ශ්‍රවණය කළ හැකි චැනල වේ. මෙවන් චැනල චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර භාවිතයෙන් ග්‍රහණය කර ශ්‍රවණය කළ හැක. මෙම චන්ද්‍රිකා රේඩියො චැනල DTR (Digital Television Radio) නමින් හැඳින්වේ. 

 

චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර

චන්ද්‍රිකා රූපවාහිනී චැනල වලින් අවශ්‍ය චැනලය තෝරා ග්‍රහණය කර එම සංඥා රූපවාහිනී තිරයක දරශනය කළ හැකි වීඩියෝ සංඥා බවට පත් කිරීම චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක කාර්යය වේ. නොයෙකුත් වර්ගවල චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර ඇති අතර ඇනලොග්, ඩිජිටල්, FTA, ඩිජිටල් සංකේතනය (encrypt) කළ චැනල නැරඹිය හැකි රිසීවර ඒ අතර වේ. ග්‍රහණය කළ හැකි තරංග මාලා අනුව (C, ku, ka තරංග මාලා) ද චන්ද්‍රිකා රූපවාහිනී රිසීවර වර්ග කෙරේ. තරංගමාලා එකකට වැඩි ගණනක් ග්‍රහණය කළ හැකි රිසීවර ද ඇත.

                                                       

                                                                                    චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක්

 

HD චැනල් නැරඹීමට අවශ්‍ය නම් HD චැනල් විකේතනය (decode) කිරීමේ පහසුකම ඇති චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් තෝරා ගත යුතුය. මෙහිදී භාවිතා වන හැකිලවීමේ (compression) ප්‍රමිතිය (MPEG-2/MPEG-4)ගැනද සැළකිලිමත් විය යුතුය. MPEG-4 ප්‍රමිතිය, වැඩිදියුණු කළ රූප හැකිළවීමේ හැකියාවකින් යුක්ත වන අතර, උසස් තත්වයේ රූප ලබා දීමට MPEG-2 ප්‍රමිතියට වඩා අඩු තරංග ඉඩ ප්‍රමාණයක් (bandwidth) භාවිතා කෙරේ.

 

ශ්‍රී ලංකාව තුල චන්ද්‍රිකා රූපවාහිනී සංඥා ග්‍රහණය කර ගැනීම

ඩයලොග් TV සමාගම ඉන්ටෙල්සැට් 12 (IS12) චන්ද්‍රිකාව උපයෝගී කරගන ku තරංග මාලාව භාවිතයෙන් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් පවත්වාගන යයි. මෙම සේවාවේ චන්ද්‍රිකා රූපවාහිනී සංඥා පියවර සටහන මගින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ භූමි ප්‍රදේශ ආවරණය කෙරේ. බොහෝ දේශීය හා විදේශීය රූපවාහිනී චැනල මෙම සේවය මගින් නැරඹිය හැක. මෙම සේවා ලබාගැනීමට ඩයලොග් TV සමාගමෙන් මිලදී ගන්නා චන්ද්‍රිකා රූපවාහිනී රිසීවරයක් අවශ්‍ය වන අතර නැරඹිය හැකි චැනල් ගණන මාසික ගෙවීම මත පදනම් වේ.

මෙයට අමතරව ගෙවා නැරඹිය හැකි චැනල හා FTA වර්ගයේ නොමිලේ නැරඹිය හැකි චැනල ගනනාවක් ද ශ්‍රී ලංකාවේ සිට ලබාගත හැකි අතර මෙයින් බොහොමයක් ඉන්දියානු ප්‍රේක්‍ෂකයන් සඳහා විකාශනය කෙරේ. එම චැනල සම්ප්‍රේෂණය කරන චන්ද්‍රිකා සංඥා පියවර සටහන මගින් ශ්‍රී ලංකාවද ආවරණය වන නිසා ශ්‍රී ලංකාවේ සිටද මෙම චැනල නැරඹිය හැක.

www.lyngsat.com චන්ද්‍රිකා රූපවාහිනී සේවා සපයන චන්ද්‍රීකා පිළබඳ තොරතුරු ලබා ගත හැකි ජනප්‍රිය වෙබ් අඩවියකි.

 

                                                                                               © කුසල් ඈපා



No comments:

Post a Comment