Saturday, July 10, 2021

කේබල් TV සේවය

 

කේබල් TV  සේවය සැපයීමට කේබල් ජාලයක් මාර්ගයෙන් බෙදා හැරෙන රූපවාහිනී සංඥා උපකාරී කර ගැනේ.කේබල් TV  ජාලයක රූපවාහිනී සංඥා ප්‍රවාහනය සඳහා කොඇක්සියල් (coaxial) කේබල්, ප්‍රකාශ තන්තු කේබල් (fibre optic cable) හෝ මෙම දෙවර්ගයම උපකාර කර ගැනේ. සමහර අවස්ථාවල කේබල් TV සේවා සපයන සමාගම් මගින් ප්‍රකාශ තන්තු කේබල් එක් එක් ප්‍රදේශ වලට යොදවා එතැන් පටන් කොඇක්සියල් කේබල මගින් නිවෙස් වලට කේබල්  TV    සම්බන්ධතාවය සපයනු ලැබේ.  කේබල් TV   ජාලයක් හරහා එවන රූපවාහිනී සංඥා නැරඹීමට කේබල TV රිසීවරයක් අවශ්‍ය වේ. මෙය කේබල්  TV  සෙට් ටොප් බොක්ස් (cable TV set top box) යනුවෙන් ද හැඳින්වේ.




කේබල්  TV  සේවා ඇනලොග් හා ඩිජිටල් වශයෙන් කාණ්ඩ දෙකකි. ඇනලොග් කේබල් TV ජාලයක දී ඇනලොග් රූපවාහිනී තරංග මූර්ජනය කර කේබල් TV   ජාලය හරහා ප්‍රවාහනය කෙරේ. ඩිජිටල් කේබල් TV  ජාල වල දී රූපවාහිනී සංඥා MPEG-2 හෝ MPEG-4 වීඩියෝ කේතීකරණ (video coding) හා තනි වාහක  (single carrier),  QAM (Quadrature Amplitude Modulation) මූර්ජන ක්‍රමය භාවිතා කර කේබල් TV   ජාලය හරහා ප්‍රවාහනය කෙරේ.

ඩිජිටල් කේබල්  TV සේවා වල දී ඇනලොග් කේබල් TV  සේවා වලට වඩා උසස් තත්වයේ රූප හා ශබ්ද ලබා ගත හැක. සම්මත විභේදන (SD – Standard Definition) හා අධි විභේදන (HD – High Definition) සේවා ඩිජිටල් කේබල් TV   මගින් ලබා ගත හැක. ඩිජිටල් කේබල් TV  ප්‍රමිතිය DVB-C (Digital Video Broadcasting – Cable) යනුවෙන් හැඳින්වේ. නවතම වැඩිදියුණු කළ ඩිජිටල් කේබල් TV  ප්‍රමිතිය DVB-C2 යනුවෙන් හැඳින්වේ.

 

කේබල් TV ජාලයක් තුලින් අන්තර් ජාල ප්‍රවේශ පහසුකම් හා දුරකථන සේවා ද ලබාදිය හැකි අතර සමහර රටවල අමතර සේවා වශයෙන් මෙම සේවා කේබල් TV ජාලය තුලින් ලබා දේ.

 




කේබල් TV  රිසීවරය (cable TV set top box)

කේබල් TV   සේවා, සමහර රූපවාහිනී යන්ත්‍ර මගින් වෙනම කේබල් TV   රීසීවරයකින් තොරව කේබල  ජාලයකට සම්බන්ධ වී ලබාගත හැක. මෙසේ කේබල් TV  සේවා ලබා ගත හැකි රූපවාහිනී යන්ත්‍ර cable ready TV වශයෙන් හැඳින්වේ. මෙමගින් නැරඹිය හැක්කේ ගෙවීමකින් තොර ව නැරඹිය හැකි සංකේතනය (encrypt) නොකළ චැනල පමණි.

බොහෝ අවස්ථාවල දී කේබල TV සේවා ලබා ගැනීමට වෙනම ගෙවීමක් කළ යුතු අතර ඒ සඳහා සැපයෙන කේබල් TV  රිසීවරයක් ද භාවිතා කළ යුතු වේ. මෙම කේබල  රිසීවරය මගින් ගෙවීමක් කර ඇති චැනල් විසංකේතනය (decrypt) කර නැරඹිමට හැකියාව ලබා දේ.

බොහෝ කේබල TV රිසීවර වල ඒ සඳහා විශේෂිත වූ යොමු අංකයක් (address) ඇත. කේබල් TV  සමාගම් වලට මෙවන් එක් එක් කේබල   රිසීවර සඳහා යොමුවූ පාලක සංඥා, කේබල් TV ජාලය තුලින් යැවිය හැක. මෙමගින් එක් එක් කේබල TV රිසීවරය සඳහා, ගෙවා ඇති චැනල් පමණක් දර්ශනය කිරීමේ හැකියාව ලබා දේ. මෙම පාලක සංඥා මුළු කේබල  ජාලය තුලම යැවෙන අතර අදාල කේබල  රිසීවරය පමණක් මෙම පාලක සංඥාව ග්‍රහණය කර ගනී.

බොහෝ අවස්ථාවල, පෙර ගෙවීමකින් හෝ අවසරයකින් තොරව කේබල් TV ජාලයකට සම්බන්ධතාවය ලබා ගැනීම නීති විරෝධී වේ. සමහර රටවල ඕනෑම අයකුට කේබල්  ජාලයකට සම්බන්ධ වීමට නිදහස තිබෙන අතර එමගින් නොමිලේ නැරඹිය හැකි චැනල පමණක් දර්ශනය කර ගත හැක. මේ සඳහා කේබල්  රිසීවරයක් හෝ cable ready වර්ගයේ රූපවාහිනී යන්ත්‍රයක් භාවිතා කළ හැක.

 

කේබල් TV මෝඩම්

සමහර කේබල්  TV  සමාගම් කේබල් TV  ජාලය උපයෝගී කර ගෙන අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් සපයනු ලැබේ. මෙවන් අවස්ථාවල කේබල්   මෝඩමයක් භාවිතයෙන් එම පහසුකම ලබාගත හැක. කේබල්   මොඩමයක් ADSL මෝඩමයකට යම් අයුරකින් සමානාත්මතාවයක් දක්වන අතර මෙහිදී දුරකථන මාර්ගය වෙනුවට කේබල්  TV   ජාලයට කේබල් මෝඩමය සම්බන්ධ කළ යුතුය.


                                                                                                   © කුසල් ඈපා

No comments:

Post a Comment