මෑත යුගයේදී සන්නිවේදන තාක්‍ෂණ වල ඇතිවූ දියුණුව
සමග ජනතාව එකිනෙකා අතර සන්නිවේදනය කරන ආකාරවල පෙරළියක් ඇති විය. පෙර තිබූ බොහෝ
සන්නිවේදන තාක්‍ෂණ වල ඇනලොග් සංඥා භාවිතා විය. ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණ මගින්
තොරතුරු බෙදා හැරීම හා ජනතාව එකිනෙකා අතර සන්නිවේදන සම්බන්ධතා පවත්වාගන්නා ආකාර
ඉතා දියුණු මට්ටමකට ගෙනැවිත් ඇත. ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණ මගින් වර්ධිත සේවා (value
added services) සැපයීම සමගම වඩාත් උසස් තත්වයෙන්, වඩාත්
පැහැදිලිව වැඩි තොරතුරු සම්භාරයක් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදාවී ඇත. ලොව බොහෝ
ප්‍රදේශවල සිටින ජනතාවට සැනෙකින් එකිනෙකා අතර සම්බන්ධතාවය ඇති කර ගැනීමටත්, ලොව
පුරා සිදුවීම් සැනෙකින් ප්‍රවෘත්ති මගින් ව්‍යාප්ත වීමටත් නවීන සන්නිවේදන තාක්‍ෂණ
උපකාරී වී ඇත.
දශක ගණනාවකට පෙර සන්නිවේදනය සඳහා භාවිතා වුන ප්‍රධාන
මාර්ගය වූයේ ලිපි හුවමාරුවයි. ලිපියක් ලැබීමට දින ගණනක් ගතවිය. දුරකථන පහසුකම්
කිහිප දෙනෙකුට පමණක් ලැබුන අතර, දුරකථන ජාල වල ව්‍යාප්තියත් සමග වැඩි පිරිසකට
දුරකථන පහසුකම් ලබා ගැනීමට හැකි විය. ෆැක්ස් යන්ත්‍ර හඳුන්වාදීමත් සමග දුරකථන
මාර්ග ඔස්සේ ලිපි ලේඛන වල පිටපත් හා රූපසටහන් යැවීමේ හැකියාවද ලැබුණි.
ජංගම දුරකථන හඳුන්වාදීමත් සමගම ජනතාව අතර
සන්නිවේදනයේ විශාල පෙරළියක් ඇති විය. එමගින් ලොව බොහෝ ප්‍රදේශවල සිට සන්නිවේදන
සම්බන්ධතා ඇති කරගැනීමේ හැකියාව උදාවිය. ස්ථාපිත රැහැන් සහිත දුරකථන නොමැති ප්‍රදේශවල
සිට ජංගම දුරකථන හා CDMA නොරැහැන් දුරකථන මගින් සන්නිවේදන සම්බන්ධතා ඇති
කර ගැනීමට හැකියාව උදාවී ඇත. චන්ද්‍රිකා දුරකථන මගින් ලොව ඕනෑම ප්‍රදේශයක පාහේ සිට
සන්නිවේදන සම්බන්ධතා ඇතිකර ගැනීමට ද හැකියාව ලැබී ඇත.
මුල් පරපුරේ ඇනලොග් ජංගම දුරකථන ජාල දැන් 2 වන
පරපුරේ ඩිජිටල් ජංගම දුරකථන ජාල මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. 3 වන පරපුරේ ජංගම
දුරකථන ජාල ද ලොව බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත වෙමින් පවතී. LTE ජංගම
දුරකථන ජාල ස්ථාපනය කිරීම ද දැන් රටවල් ගනනාවක ආරම්භ වී ඇත. කුඩා ප්‍රමාණයේ ජංගම
දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවලට සමාන ෆෙම්ටොසෙල් උපකරණ කාර්යාල හා නිවෙස් තුළ
යෙදවීම ද දැන් රටවල් ගණනාවක සිදු වෙමින් පවතින අතර එමගින් ජංගම දුරකථන සංඥා,
ගොඩනැගිලි ඇතුළත වඩා හොඳින් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.
අන්තර්ජාලය මගින් ලොව පුරා අති විශාල තොරතුරු
සම්භාරයකට ප්‍රවේශ වීමට හැකියාව උදාවී ඇත. මුලදී අන්තර්ජාල ප්‍රවේශයට ඩයලිත (dialup)
මෝඩම භාවිතා කෙරුණි. ADSL සේවා මගින් වඩා වැඩි දත්ත සන්නිවේදන වේග වලින්
දවස පුරාම අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැක. GPRS, HSPA වැනි
ජංගම දුරකථන ආශ්‍රිත දත්ත සන්නිවේදන සේවා මගින් ජංගම දුරකථන සංඥා ඇති ප්‍රදේශවල සිට ජංගම
දුරකථනයකට, පරිගණකයකට හෝ ටැබ්ලට් පරිගණකයකට අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැක.
වයිමැක්ස් (WiMax) තාක්‍ෂණය රැහැන් නොමැතිව දත්ත හා අන්තර්ජාල
සන්නිවේදන පහසුකම් ලබාගත හැකි තවත් නව තාක්‍ෂණයකි.
තොරතුරු ලබාගැනීමට අමතරව අන්තර්ජාලය තුලින් දුර
ඇමතුම් ලබා ගැනීමට VOIP තාක්‍ෂණය භාවිතා කළ හැක. මෙමගින් විදේශ රටවලට පවා
අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ඇති ස්ථාන වලට පරිගණක භාවිතයෙන් නොමිලේ ඇමතුම් ලබා ගත
හැක. SIP තාක්‍ෂණයද මෙසේ අන්තර්ජාලය හරහා පරිගණකයක්
නොමැතිව වුවද SIP උපාංගයක් භාවිතයෙන් ඇමතුම් ලබාගැනීමට භාවිතා කළ
හැකි තාක්‍ෂණයකි.
දශක ගණනාවක සිට ගුවන් විදුලි සේවා මගින් ජනතාවට
තොරතුරු හා විනෝදාස්වාදය සපයා ඇත. FM රේඩියෝ
මගින් උසස් ශ්‍රවණ තත්වයේ හයිෆයි (HiFi) සංගීතය
සහිත ගුවන් විදුලි සේවා සැපයිය හැක. DAB වැනි
ඩිජිටල් රේඩියෝ සම්ප්‍රේෂණ වඩාත් පැහැදිලි උසස් ශ්‍රවණ තත්ව ලබා දීමට සමත්ය. චන්ද්‍රිකා
රේඩියෝ (Satellite Radio) සේවා මගින් ලොව පුරා රේඩියෝ චැනල ගණනාවක් ශ්‍රවණය
කළ හැක.
ඇනලොග් රූපවාහිනී සේවා දැන් රටවල් ගණනාවක වඩාත්
උසස් හා පැහැදිලි රූප ලබා දිය හැකි ඩිජිටල් රූපවාහිනී සේවා මගින් ප්‍රතිස්ථාපනය
කිරීම ඇරඹී ඇත. චන්ද්‍රිකා රූපවාහිනී හා කේබල් රූපවාහිනී සේවා මගින් ලොව වටා
රූපවාහිනී චැනල සිය ගනනක් නැරඹීමට අවස්ථාව උදා කර ඇත. දුරකථන රැහැන් පද්ධතිය
භාවිතයෙන් සැපයෙන IPTV සේවා මගින්ද මෙවැනි පහසුකම් දැන් ලබාගත හැක.
නොරැහැන් (wireless) තාක්‍ෂණ
මගින් රේඩියෝ තරංග භාවිතයෙන් කේබල නොමැතිව සන්නිවේදනය සඳහා උපකරණ එකිනෙක සම්බන්ධ
කළ හැක. බ්ලූටූත් තාක්‍ෂණයෙන් ජංගම දුරකථනයක් රැහැන් රහිතව හෙඩ් සෙට් එකකට සම්බන්ධ
කළ හැක. වයිෆයි (Wi-Fi) මගින්ද රැහැන් රහිතව පරිගණක හා ආශ්‍රිත උපකරණ
එකිනෙක සන්නිවේදනය සඳහා සම්බන්ධ කළ හැක.
නොරැහැන් දුරකථන (cordless phones) මගින් නිවස තුළ ඕනෑම ස්ථානයක සිට දුරකථනය භාවිතා
කිරීමට ඉඩ ලැබේ.
අධිවේගී දත්ත සන්නිවේදනයට මුලදී ISDN වැනි තාක්‍ෂණ යොදා ගැනුනි. ADSL හා ADSL2+ වැනි
සේවා භාවිතයෙන්, අඩු වියදමින් නිවාස හා ආයතනවලට අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබා
ගැනීමට අවස්ථාව සැලසී ඇත. බදුමාර්ග (leased lines) හා
මෙට්‍රෝඊතර්නෙට් (Metro Ethernet) සේවා
මගින් ව්‍යාපාරික ස්ථාන සඳහා අවශ්‍ය අධිවේගී දත්ත සන්නිවේදන සම්බන්ධතා ලබාගත හැක.
ප්‍රකාශ තන්තු
(Fibre Optic) කේබල් මගින් ආලෝක කිරණ භාවිතයෙන් අධිවේගීව දත්ත
අතිවිශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැක. අධි ධාරිතාවයෙන් යුත් ෆයිබර් කේබල් හා සබ්මැරීන්
ෆයිබර් කේබල් මගින් දුරකථන ඇමතුම් මිලියන ගණනක් හා දත්ත විශාල ප්‍රමාණයක් ලොව පුරා
රටවල් අතර හුවමාරු කෙරේ. FTTH (Fibre To The Home) සම්බන්ධතා
මගින් අනාගතයේ සෑම නිවසකටම ප්‍රකාශ තන්තු කේබල් සම්බන්ධතාවයක් හා එමගින් අධිවේගී
අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
චන්ද්‍රිකා මගින් ස්ථාන නිර්ණය හා මං සෙවීම කළ
හැකි GPS භාවිතයෙන්, ලොව පුරා ජනයාට තමන් සිටින ස්ථානය
නිර්ණය කරගැනීමට හා ගමනාගමනය සැළසුම් කර ගැනීමට උදව් වේ. වාහනවලදී ඩිජිටල් සිතියම්
සහිත GPS උපරකණ තම ගමනාන්තයට ලඟා වීමට උපකාර වන අතර පෙරදී
මුද්‍රිත සිතියම් භාවිතයෙන් කළ කාර්යය වඩාත් පහසුවෙන් කර ගැනීමට මෙමගින් හැකියව
ලැබේ.
ට්‍රන්ක්ඩ් රේඩියෝ පද්ධති මගින් රේඩියෝ තරංගමාලා
හවුලේ භාවිතා කිරීමෙන් විවිධ ආයතනවලට තම කණ්ඩායම් සමග සන්නිවේදන කටයුතු පහසුවෙන්
කර ගැනීමට හැකියාව ඇත.
ඉහත සඳහන් කළ නූතන හා එළි දැක්වෙමින් පවතින
සන්නිවේදන තාක්‍ෂණ පිළිබඳ වැඩි තොරතුරු මෙම බ්ලොග් අඩවියේ ඉදිරි ලිපි වලින් දැක්වෙනු ඇත.
- කුසල් ඈපා
- කුසල් ඈපා
No comments:
Post a Comment