Wednesday, January 8, 2014

GSM

GSM (Global System for Mobile communication) යනුවෙන් දැක්වෙන්නේ ලොව පුරා වැඩියෙන්ම ව්‍යාප්ත හා වැඩිම ග්‍රාහකයන් ගණනක් භාවිතා කරන ජංගම දුරකථන තාක්‍ෂණයයි. එය 2 වන පරපුරට අයත් (2G) ජංගම දුරකථන තාක්‍ෂණයකි. GSM මුලදී යුරෝපයේ භාවිතය සඳහා නිර්මාණය කෙරුන අතර පසුව එය ලොව පුරා ව්‍යාප්ත විය. ලොව පුරා GSM ග්‍රාහකයන් ගණන බිලියන 4.5 ඉක්මවයි.



SIM කාඩ් පත, SMS කෙටි පණිවිඩ සේවය හා රෝමිං සේවා මුලින්ම GSM තාක්‍ෂණය මගින් ලොවට හඳුන්වා දෙනු ලැබීය. GSM දුරකථන ජාල 900MHz හා 1800MHz තරංගමාලාවල ක්‍රියාත්මක වේ. ඇමරිකාවේ දී GSM දුරකථන ජාල සඳහා 850MHz හා 1900MHz තරංගමාලා භාවිතා වේ. 900MHz තරංග මාලාවේදී 45MHz පරතරයකින් යුත් රේඩියෝ චැනල යුගලක්ද 1800MHz තරංගමාලාවේදී 95MHz පරතරයකින් යුත් තරංග යුගලක් ද උඩු හා යටි සබඳතා (uplink & downlink)  සඳහා GSM දුරකථන ජාල වල භාවිතා කෙරේ.
GSM තාක්‍ෂණයේ රේඩියෝ තරංග මූර්ජනයට, GMSK (Gaussian Minimum Shift Keying) නම් මූර්ජන ක්‍රමය භාවිතා වේ. සෑම GSM රේඩියෝ චැනලයක්ම 200kHz තරංග කලාප පළලකින් යුක්ත වන අතර එක චැනලයක එක වර ග්‍රාහකයන් 8 දෙනෙකුට TDMA බහුපථ (multiplexing) ක්‍රමය භාවිතා කර සම්බන්ධතා පවත්වාගත හැක. GSM සම්ප්‍රේෂණ කුළුණක් ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට 35km දුරක් දක්වා දුරකට සංඥා ඇත්නම් ග්‍රාහකයකුට සම්බන්ධතා ඇති කරගත හැක. කුළුනකින් 35km වලට වැඩි දුරකදී ජංගම දුරකථනයකට සංඥා ලැබුනද සමමුහුර්තකරනයට (synchronisation) ඇති අපහසුකම් නිසා සම්බන්ධතා ඇති කරගත නොහැක.
GSM ජංගම දුරකථන ජාලවල (GPRS හා EDGE වර්ධිත සේවා නොමැතිව) 9.6kbps දක්වා දත්ත සන්නිවේදන වේග ලබා ගත හැකිවේ. GPRS හා EDGE යනු GSM ජාල වල වැඩි වේගයෙන් දත්ත සන්නිවේදනය කිරීමට ඇති වර්ධිත සේවා දෙකකි.
GSM හිදී කටහඬ වොකෝඩයරක් (Vocoder- Voicecoder) මගින් කේතනය කරනු ලැබේ. මෙම වොකෝඩරය මගින් කේතීකරනය කරන ලද දුර ඇමතුම් සංඥා 13.3kbps දත්ත සන්නිවේදන වේගයක් ඇති චැනලයක සම්ප්‍රේෂණය කෙරේ.


2 වන පරපුරේ  GSM තාක්‍ෂණය වැඩි දියුණු කර 3 වන පරපුරේ 3G UMTS තාක්‍ෂණය නිර්මාණය වී ඇත. සියළුම 3G ජංගම දුරකථන 3G හා GSM පහසුකම් දෙකෙන්ම යුක්තව ද්විත්ව මාත (dual mode) දුරකථන ලෙස නිපදවා ඇත.

                                                                                  - කුසල් ඈපා

Monday, January 6, 2014

ජංගම දුරකථන තාක්‍ෂණ වල පරිණාමය

සෙලියුලර් ජංගම දුරකථන තාක්‍ෂණය මුලින් තිබූ ඇනලොග් ජංගම දුරකථන වල සිට පරිණාමය හා වර්ධනය වී ඩිජිටල් තාක්‍ෂණය භාවිතා කරන නවතම අති දියුණු ජංගම දුරකථන තාක්‍ෂණ තෙක් පැමිණ ඇත. මෙම පරිණාමය එක් එක් පරපුරට අයත් තාක්‍ෂණ ලෙස පලමු පරපුරේ සිට හතර වන පරපුර දක්වා වර්ග කෙරේ.




1 වන පරපුර (1G – 1st Generation)
1 වන පරපුරේ දුරකථන ජාල වල කටහඬ සහිත ශබ්දය ඇනලොග් සංඥා ආකාරයට සම්ප්‍රේෂණය කෙරුනු අතර වර්ග කිහිපයක දුරකථන ජාල මෙම පරපුරට අයත් විය.

TACS – Total Access Communication Services
TACS හා E-TACS (Extended TACS) වර්ගයේ දුරකථන ජාල බොහෝ යුරෝපීය හා ආසියානු රටවල ස්ථාපිත කෙරුනි.  ශ්‍රී ලංකාවේද මුලදී සෙල්ටෙල් (ටීගෝ, එටිසැලට් වශයෙන් පසුව හැඳින්වුනි), කෝල්ලින්ක් (පසුව හච් නමින් හැඳන්වේ) සමාගම් මෙම වර්ගයේ දුරකථන ජාල ස්ථාපනය කළහ.

AMPS – Advanced Mobile Phone Systems
වැඩි වශයෙන් ඇමරිකාව, දකුණු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි ප්‍රදේශ වල මෙම වර්ගයේ ජංගම දුරකථන ජාල ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ මොබිටෙල් සමාගමද මුලින් මෙම වර්ගයේ දුරකථන ජාලයක් ස්ථාපනය කර ක්‍රියාත්මක කරවීය.

ඇනලොග් වර්ගයේ දුරකථන ජාල වල එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් සංඥා ආවරණය කරන භූමි ප්‍රදේශය දළ වශයෙන් ඩිජිටල් ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ආවරණය වන ප්‍රදේශයකට වඩා වැඩිවේ. නමුත් එක වර ලබා ගත හැකි දුර ඇමතුම් ගණන සීමා විය. (ඩිජිටල් ජංගම දුරකථන ජාල වල TDMA තාක්‍ෂණය යොදා එක වර වැඩි දුරඇමතුම් ගණනක් ලබා ගත හැක). 800MHz හා 900MHz රේඩියෝ තරංග මාලා AMPS වර්ගයේ ජංගම දුරකථන ජාල සඳහා භාවිතා වුනි.

2 වන පරපුර (2G – 2nd Generation)
දෙවන පරපුරේ ජංගම දුරකථන ජාලවල කථන සංඥා (voice) ඩිජිටල් ආකාරයට සම්ප්‍රේෂණය කෙරේ. SMS වැනි වර්ධිත සේවා දෙවන පරපුරේ ජංගම දුරකථන ජාල වල දී මුලින්ම හඳුන්වා දෙනු ලැබීය. දෙවන පරපුරේ ජංගම දුරකථන ජාල භාවිතා කරන බහුපථ (multiplexing) තාක්‍ෂණය අනුව CDMA හා TDMA වශයෙන් වර්ග දෙකකි.

GSM – GSM ජංගම දුරකථන ජාල TDMA තාක්‍ෂණය භාවිතා කරන මුලින් යුරෝපයේ භාවිතය සඳහා නිර්මාණය වුන ජංගම දුරකථන පද්ධතියකි. මෙහි ජනප්‍රිය භාවය නිසා එය ලොව පුරා ව්‍යාප්ත වූ අතර දැනට ලොව පුරා GSM දුරකථන ජාල දහසකට වඩා වැඩි ගණනක් ක්‍රියාත්මක වේ. දැනට ලොව වැඩිම ග්‍රාහකයන් ගණනක් භාවිතා කරන ජංගම දුරකථන තාක්‍ෂණය GSM තාක්‍ෂණයයි.
GSM දුරකථන ආසියානු හා යුරෝපීය රටවල 900MHz හා 1800MHz රේඩියෝ තරංග මාලාවල ක්‍රියාත්මක කෙරේ. ඇමරිකානු මහද්වීපයේ රටවල GSM ජංගම දුරකථන ජාල 850MHz හා 1900MHz තරංගමාල භාවිතා කරයි. ඩයලොග්, හච්, මොබිටෙල්, එටිසැලට් හා එයාටෙල් සමාගම් ශ්‍රී ලංකාවේ GSM ජංගම දුරකථන ජාල ස්ථාපිත කර ඇත.

IS-136 (D-AMPS – Digital AMPS)  - මුලින් තිබූ AMPS තාක්‍ෂණය ඩිජිටල් හා TDMA තාක්‍ෂණය භාවිතයෙන් වර්ධනය කර D-AMPS තාක්‍ෂණය නිර්මාණය වුනි. ඇමරිකාව හා රටවල් ගණනාවක මෙම වර්ගයේ දුරකථන ජාල ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේද මොබිටෙල් සමාගම මුලින් තිබූ AMPS ජංගම දුරකථන ජාලය වර්ධනය කර D-AMPS දුරකථන ජාලයක් ස්ථාපනය කර ක්‍රියාත්මක කරවීය.

IS-95 (CDMAOne) - මෙය CDMA තාක්‍ෂණය භාවිතා කරන ජංගම දුරකථන තාක්‍ෂණයකි. ඇමරිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක මෙම වර්ගයේ ජංගම දුරකථන ජාල ක්‍රියාත්මක වේ.

PDC - මෙය TDMA තාක්‍ෂණය භාවිතා කරන දෙවන පරපුරේ තාක්‍ෂණයක් වන අතර ජපානයේ පමණක් ක්‍රියාත්මක කෙරේ.

2.5G
2G තාක්‍ෂණයේ තිබූ සීමිත දත්ත සන්නිවේදන පහසුකම් 2.5G ජංගම දුරකථන ජාල වලදී පැකට් ස්විචින්ග් තාක්‍ෂණය භාවිතා කර වැඩි දියුණු කර ඇත. GPRS පහසුකම සහිත GSM දුරකථන ජාල හා CDMA 2001X වර්ගයේ දුරකථන ජාල 2.5G තාක්‍ෂණ වශයෙන් වර්ග කෙරේ.

2.75G
EDGE තාක්‍ෂණය සහිත GSM දුරකථන ජාල 2.75G තාක්‍ෂණ වශයෙන් වර්ග කෙරේ.



3 වන පරපුර (3G – 3rd  Generation)
3 වන පරපුරේ ජංගම දුරකථන තක්‍ෂණ ගණනාවක් ඇත.

3G UMTS
3G UMTS (3rd Generation Universal Mobile Telephone System) යනුවෙන් හැඳින්වෙන 3 වන පරපුරේ ජංගම දුරකථන තාක්‍ෂණය රේඩියෝ තරංග සම්ප්‍රේෂණයේදී W-CDMA (Wideband Code Division Multiple Access) තාක්‍ෂණය භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ සියළු ජංගම දුරකථන සමාගම් GSM තාක්‍ෂණයට අමතරව, 3G තාක්‍ෂණය සහිත ජංගම දුරකථන ජාල ද ක්‍රියාත්මක කරයි.

CDMA2000 1X EV-DO  හා CDMA2000 1X EV-DV
මෙම තාක්‍ෂණ 2G CDMA තාක්‍ෂණ ප්‍රමිතිය වන IS-95 වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කර ඇත. ඇමරිකාව, කොරියාව හා ජපානය ප්‍රමුඛ රටවල් ගණනාවක මෙම තාක්‍ෂණය සහිත ජංගම දුරකථන ජාල ක්‍රියාත්මක වේ.

WiMax
WiMax තාක්‍ෂණය 3G තාක්‍ෂණය ලෙස වර්ග කෙරුනත් එහි නිර්මාණකරුවන් ප්‍රචාරක කටයුතු වලදී එය 4G තක්‍ෂණයක් ලෙස හඳුන්වයි. ජංගම උපාංග වල මෙම තාක්‍ෂණය භාවිතා කළ හැකි වුවත් ලොව බොහෝ ප්‍රදේශ වල ස්ථාපිත දත්ත සන්නිවේදන සේවා සැපයීමට මෙම තාක්‍ෂණය යෙදවේ.

TD-SCDMA
මෙම තාක්‍ෂණය චීනයේ නිරමාණය වූ එම රටේ පමණක් භාවිතා වන 3G තාක්‍ෂණයකි.

3.5G
3G UMTS දුරකථන ජාල HSDPA(High Speed Downlink Packet Access) වර්ධිත සේවා සමග වැඩි වේගයෙන් දත්ත සන්නිවේන පහසුකම් ලබාදිය හැකි ජංගම දුරකථන ජාල 3.5G තාක්‍ෂණ වශයෙන් වර්ග කෙරේ.

3.75G
HSUPA (High Speed Uplink Packet Access) වර්ධිත සේවා සහිත 3G ජංගම දුරකථන ජාල 3.75G තාක්‍ෂණ වශයෙන් වර්ග කෙරේ.




4 වන පරපුර (4G – 4th Generation)

LTE (Long Term Evolution) ජංගම දුරකථන ජාල 3.9G හෝ 3..99G වශයෙන් වර්ග කෙරුනත් බොහෝ LTE ජංගම දුරකථන ජාල ස්ථාපනය කළ සමාගම් වෙළඳ ප්‍රචාරක කටයුතු වලදී මෙය 4G තාක්‍ෂණයක් වශයෙන් හඳුන්වති.


LTE-A (LTE Advanced) තාක්‍ෂණය සත්‍ය වශයෙන්ම 4G පරපුරේ තාක්‍ෂණික අවශ්‍යතා සම්පූර්ණ කරනු ඇති බවට බලාපොරොත්තු වේ.

                                                                                 - කුසල් ඈපා
                                                              


Thursday, January 2, 2014

සෙලියුලර් ජංගම දුරකථන සේවා

සෙලියුලර් ජංගම දුරකථන භාවිතය මගින් ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය පවතින ප්‍රදේශයක සිට දුර ඇමතුම් ලබාගැනීමට හෝ ලැබීමට හැකියාව ලැබේ. ස්ථාපිත දුරකථනයකින් මෙන් එක් ස්ථානයකට සීමා නොවී ඕනෑම ස්ථානයක පාහේ සිට දුරකථනය භාවිතා කිරීමට ඇති හැකියාව නිසා ජංගම දුරකථන ඉතා ජනප්‍රිය වී ඇත. ජංගම දුරකථන ජාල විවිධ ජංගම දුරකථන සමාගම් මගින් ස්ථාපනය කර ඇති අතර එම එක් එක් ජාලවල සංඥා ආවරණය ඇති ප්‍රදේශ එකිනෙකට වෙනස් වේ. ජංගම දුරකථනයක් ක්‍රියා කිරීමේදී එය ලඟම ඇති එම ජාලයට අයත් සම්ප්‍රේෂණ කුළුන හරහා එම කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට රේඩියෝ තරංග මගින් සමබන්ධ වේ. යම් ප්‍රදේශයක එම ජංගම දුරකථනයට අදාල ජංගම දුරකථන ජාලයේ සංඥා ආවරණය නොමැති නම් එම ප්‍රදේශයේදී එම ජංගම දුරකථනය ක්‍රියා කරවිය නොහැක. ජංගම දුරකථනයකට සම්බන්ධ විය හැක්කේ එම ජංගම දුරකථනයේ ඇති SIM කාඩ් පත අයත් ජංගම දුරකථන ජාලයට පමණි. 




සෙලියුලර් තාක්‍ෂණය

ජංගම දුරකථන සෙලියුලර් දුරකථන වශයෙන්ද හැඳින්වේ. ජංගම දුරකථන ජාලයක් සෛලමය හැඩ ඇති ප්‍රදේශ (cells) වලින් සමන්විත වීම එයට හේතුවයි. මෙම සෛලමය හැඩ ඇති ප්‍රදේශ වලට එක් එක් සම්ප්‍රේෂණ කුළුනු මගින් සංඥා ආවරණය සලසන අතර එක් සෛලමය හැඩ ඇති ප්‍රදේශයක ඇති ජංගම දුරකථන එම ප්‍රදේශයේ ඇති සම්ප්‍රේෂණ කුළුන හරහා ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධ වේ. ජංගම දුරකථනයක් සෑම අවස්ථාවකම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් සමග සම්බන්ධතාවය ඇති කරගත හැකි පරිදි අවශ්‍ය අවම සම්ප්‍රේෂණ බලයෙන් සංඥා සම්ප්‍රේෂණය කරයි. සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් දුරස් වත්ම ජංගම දුරකථනය තම සම්ප්‍රේෂණ බලය ස්වයංක්‍රියව අවශ්‍ය පරිදි වැඩි කර ගනී. මෙවන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන Base Transceiver Stations (BTS) නමින් හැඳින් වේ. මෙවන් BTS ගණනාවක් ක්ෂුද්‍ර තරංග සම්බන්ධතා (microwave link) මගින් හෝ ෆයිබර් කේබල හෝ වෙනත් කේබල මගින් Base Station Controller (BSC) මධ්‍යස්ථානයකට සම්බන්ධ වේ. BSC කිහිපයක් Mobile Switching Centre (MSC) මධ්‍යස්ථානයකට සම්බන්ධ වේ. එක් ජංගම දුරකථනයකින් ලබා ගන්නා ඇමතුමක් තවත් දුරකථනයකට යොමු කර සම්බන්ධ(switch) කිරීම MSC තුලදී සිදු කෙරේ. දුර ඇමතුම වෙනත් දුරකථන ජාලයකට යොමුවී ඇත්නම් එය MSC මගින් පොදු දුරකථන ජාලයට (PSTN-Public Switched Telephone Network) යොමු කර සම්බන්ධතාවය ඇති කෙරේ. 


රේඩියෝ තරංග සංඛ්‍යාත ප්‍රති-උපයෝගය (Frequency re-use)

සෙලියුලර් ජංගම දුරකථන ජාල වල ඇති විශේෂත්වය වන්නේ එහි රේඩියෝ තරංග සංඛ්‍යාත (චැනල) වෙනත් ප්‍රදේශ වලදී ප්‍රති-උපයෝගී කරගැනීමට ඇති හැකියාවයි.ජංගම දුරකථන දහස් ගණනක් එකම අවස්ථාවක ක්‍රියාත්මක වන නිසා විවිධ ප්‍රදේශ වල මෙම සීමිත රේඩියෝ තරංග චැනල ගණන එකිනෙකට බාධා නොවන පරිදි නැවත භාවිතා කිරීමට අවශ්‍ය වේ. ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනු ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා සම්බන්ධවීමට භාවිතා වන මෙම රේඩියෝ තරංග චැනල, වෙනත් ප්‍රදේශ වලදී තවත් ජංගම දුරකථන එසේ සම්බන්ධ කිරීමට නැවත යෙදවේ. මෙම ක්‍රියාවලියේදී රේඩියෝ තරංග සංඛ්‍යාත චැනල එක ලඟ ප්‍රදේශවල එකිනෙකට බාධා නොවන පරිදී ක්‍රියා කිරීමට එම චැනල නිසි පරිදි සැලසුම් කළ යුතුවේ. 3G ජංගම දුරකථන ජාලවල CDMA තාක්‍ෂණය යොදා ගැනෙන අතර එකම චැනලය එක ලඟ ප්‍රදේශවල භාවිතා කළ හැක. එම චැනල වලට විශේෂිත වූ කේත කාවද්දා (embedded) එකිනෙක හා බාධා නොවන පරිදි ක්‍රියා කිරීමට සැළැස්වේ.   




TDMA තාක්‍ෂණය 

TDMA (Time Division Multiple Access) යනුවෙන් හැඳින්වෙන්නේ ඩිජිටල් ජංගම දුරකථන ජාලවල භාවිතා වන බහුපථ (multiplex) කිරීමේ ක්‍රමවේද යයි. මෙහිදී එක් රේඩියෝ චැනලයක් එක වර ග්‍රාහකයන් කිහිප දෙනෙකුට භාවිතා කළ හැක. එකම චැනලය ග්‍රාහකයන් ගණනාවක් එක අවස්ථාවක හවුලේ භාවිතා කරන අතර එක් එක් ග්‍රාහකයා එම චැනලයේ එක් කාල විවරයක් (time slot) තම භාවිතයට යොදා ගනී. දුර ඇමතුමේ කථනය (voice) ඩිජිටල් දත්ත බවට පත් කර කෙටි කාලසීමාවකදී සම්ප්‍රේෂණය කෙරේ. GSM හිදි එක් චැනලයක් කාල විවර 8 බැගින් බෙදෙන අතර එකවර ග්‍රාහකයන් 8 දෙනෙකුට එම චැනලයක් හවුලේ භාවිතා කර සම්බන්ධතාවය පවත්වා ගත හැක. සෑම ග්‍රාහකයකුම තමන්ට වෙන්කර ඇති චැනලයේ කාල විවරය තුල පමණක් සංඥා සම්ප්‍රේෂණය හා ග්‍රහණය සිදුකරයි. මෙම කාලවිවර මාරුකිරීම නැතහොත් ස්විච් කිරීම ඉතා සුළු කාලයක් වන තත්පරයකින් දහසකින් එකක් වැනි කුඩා කාල සීමාවකදී ස්වයංක්‍රීයව කෙරෙන අතර ග්‍රාහකයන්ට තම චැනලය තවත් ග්‍රාහකයන් සමග හවුලේ භාවිතා කරන බව පවා නොදැනෙන තරමට ඉක්මණින් ක්‍ෂණිකව සිදුකෙරේ. 

CDMA 

3G ජංගම දුරකථන හා CDMA ස්ථාපිත දුරකථන, TDMA තාක්‍ෂණයට අමතරව CDMA තාක්‍ෂණයද භාවිතා කරයි. CDMA තාක්‍ෂණය ගැන වැඩි විස්තර වෙනත් ලිපියක දක්වනු ඇත. 

රේඩියෝ චැනල් පැවරීම (handover/handoff) 

ජංගම දුරකථනයකට සංඥා ආවරණය ඇති ඕනෑම ස්ථානයක සිට ඇමතුම් ලැබීමට හෝ ලබාගැනීමට අමතරව දුර ඇමතුමක යෙදී සිටින අවස්ථාවක එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කිරීමේදී එම ඇමතුම නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව ද ලැබේ. සෑම ජංගම දුරකථනයක්ම නිරතුරුවම අවට ප්‍රදේශවල ඇති ජංගම දුරකථන ජාලයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වල සංඥා පිරික්සමින් සිටී. ජංගම දුරකථනයක් ලඟම පිහිට ජංගම දුරකථන ජාල කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සම්බන්ධව සිට ඒ අවට සම්ප්‍රේෂණ මධ්‍යස්ථානවල සංඥා ද පිරික්සයි. දුර ඇමතුමක යෙදී සිට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කරන අවස්ථාවක එම සම්බන්ධතාවය තමන් මුලින් සිටි ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් විසන්ධි වී තමන් ලඟා වන ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් හරහා ඇති කෙරෙන පරිදි මාරු කෙරේ. මෙය ග්‍රාහකයන්ට නොදැනෙන තරම් ඉක්මණින්, ක්‍ෂණිකව කෙරෙන අතර එමගින් දුර ඇමතුම නොකඩවා පවත්වා ගත හැක. මෙම සම්බන්ධතාවය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට තවත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකට පවරාදිමේදී භාවිතා වන රේඩියෝ චැනලය මාරු වේ. මෙම පවරාදීමේ ක්‍රියාවලිය handover/handoff නමින් දැක්වේ. 3G ජංගම දුරකථන ජාලවල භාවිතා වන CDMA තාක්‍ෂණයේදී soft handover නම් මෙයට වඩා තරමක් වෙනස් ක්‍රියාවලියක් සිදු කෙරේ. මෙහිදී දුර ඇමතුමක යෙදී සිට එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට ගමන් කරද්දී මුලින් තිබූ සම්බන්ධතාවය විසන්ධි නොවී තමන් ලඟාවන ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හරහා ද සම්බන්ධතාවයක් ජංගම දුරකථනය ඇති කර ගනී. අනතුරුව යම් කාල සීමාවකට මෙම සම්බන්ධතා දෙකම පවත්වා පලමුව ඇති කරගත් සම්බන්ධතාවය විසන්ධි කෙරේ. 


සෙලියුලර් ජංගම දුරකථන පද්ධතියක මූලික වින්‍යාසය


BTS – Base Transceiver Station, RBS (Radio Base Station) හෝ 3G හිදී NodeB යනුවෙන් දැක්වෙන රේඩියෝ තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන. 

BSC – Base Station Controller හෝ RNC (Radio Node Controller) යනුවෙන් දැක්නේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පාලක ස්ථානය 
MSC – Mobile Switching Centre - ජංගම දුරකථන හුවමාරු මධ්‍යස්ථානය 
PSTN – Public Switched Telephone Network - පොදු දුරකථන ජාලය

                                                                                 - කුසල් ඈපා