Tuesday, September 15, 2015

චන්ද්‍රිකා දුරකථන (SatPhones)

චන්ද්‍රිකා දුරකථනයක් යනු අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ආධාරයෙන් දුරඇමතුම් ලබාගත හැකි ජංගම දුරකථනයකි. මෙම දුරකථන සැට්ෆෝන් (satphone) යනුවෙන්ද හැඳින්වේ. චන්ද්‍රිකා දුරකථන සඳහා විශේෂ වූ චන්ද්‍රිකා පද්ධතියක් අභ්‍යවකාශයේ රඳවා ඇති අතර චන්ද්‍රිකා දුරකථන එවන් චන්ද්‍රිකා සමග සෘජුව සම්බන්ධතා ඇති කරගනී. චන්ද්‍රිකා දුරකථනයකින් ලබා ගන්නා දුර ඇමතුම් පෘථිවියේ ඇති ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථානයක් (gateway station) හරහා සාමාන්‍ය දුරකථන පද්ධතිවලට සම්බන්ධ වේ. මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා ඩිෂ් ඇනටෙනා වලින් යුක්ත වන අතර චන්ද්‍රිකා දුරකථන පද්ධතියේ දුරඇමතුම් ලෝකයේ අනෙකුත් දුරකථන (සාමාන්‍ය හා ජංගම) පද්ධතිවලට සම්බන්ධ කිරීම මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන හරහා සිදු කෙරේ.
චන්ද්‍රිකා දුරකථන දුරස්ථ ප්‍රදේශවලදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අතර සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති හා වෙනත් සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශවලදී මෙමගින් දුරඇමතුම් ලබාගැනීමට හැකි වීම විශේෂ වාසියකි. මෙවන් චන්ද්‍රිකා දුරකථන පද්ධති GMSS (Global Mobile Satellite Systems) යන නමින්ද හැඳින්වේ.
චන්ද්‍රිකා දුරකථන, සාමාන්‍ය භාවිතයේ ඇති සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන වලට වඩා මිල වැඩි අතර දුර ඇමතුම් ද සාමාන්‍ය ජංගම දුර ඇමතුම් මිලට වඩා වැඩි වේ. චන්ද්‍රිකා දුරකථන මගින් දුරඇමතුම් වලට අමතරව දත්ත සන්නිවේදන සේවා පහසුකම ද සැලසිය හැකි අතර ප්‍රවෘත්ති වාර්තාකිරීම,  හදිසි අවස්ථාවලදී පණිවිඩ හුවමාරුවට, නාවික හා ගුවන් ගමන් වලදී පණිවිඩ හුවමාරුවට, හදිසි ආපදා සහන කටයුතු වල, මුහුදේ ඇති තෙල් හා ගෑස් කැණීම් ආකර වල ආදියේ භාවිතය සඳහා බහුලව යොදා ගැනේ.
චන්ද්‍රිකා දුරකථන විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අවස්ථා හැටියට දැක්විය හැක්කේ හදිසි ආපදා අවස්ථාවලදී වෙනත් සන්නිවේදන මාර්ග අඩපණ වී ඇතිවිට සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කිරී‍මට ඇති හැකියාවයි.
චන්ද්‍රිකා දුරකථනයක විශාලත්වය, භාවිතා වන චන්ද්‍රිකා දුරකථන ජාලය මත රඳා පවතී. සමහර චන්ද්‍රිකා දුරකථන ජාල සඳහා අතේ ගෙනයා හැකි කුඩා ජංගම චන්ද්‍රිකා දුරකථන භාවිතා වන අතර තවත් සමහර චන්ද්‍රිකා දුරකථන ජාලවල භාවිතා වන දුරකථන කුඩා ලැප්ටොප් පරිගණකයක ප්‍රමාණත්වයෙන් යුක්ත වේ.
චන්ද්‍රිකා දුරකථනයක් නිසි පරිදි ක්‍රියා කිරීමට, දුරකථනය අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමග බාධාවකින් තොරව සම්බන්ධවිය හැකි එලිමහන් ස්ථානයක සිට ක්‍රියා කළ යුතුවේ. දුරකථනය හා චන්ද්‍රිකා අතර දෘෂ්ඨි රේඛාව (line of sight) බාධාවලින් තොර විය යුතුය. ගොඩනැගිල්ලක් තුල හෝ චන්ද්‍රිකා සමග ඇති පථයට බාධා වන ස්ථාන වල සිට චන්ද්‍රිකා දුරකථන ක්‍රියා කරවීම අපහසු විය හැක. ගොඩනැගිල්ලක් තුල සිට චන්ද්‍රිකා  දුරකථනයක් හොඳින් ක්‍රියාත්මක කිරීමට එයට සම්බන්ධ කළ ඇන්ටෙනාවක් පිටතින් එලිමහනේ සවිකිරීම අවශ්‍ය විය හැක.
සාමාන්‍ය දුරකථන හෝ ජංගම දුරකථන මගින් චන්ද්‍රිකා දුරකථනයකට ලබාගන්නා ඇමතුම් මිලෙන් අධික විය හැකි අතර එය ජාත්‍යන්තර දුර ඇමතුමකටද වඩා මිලෙන් වැඩි විය හැක.


                    

චන්ද්‍රිකා දුරකථන සේවා සපයන චන්ද්‍රිකා ජාල වර්ග දෙකකි. එනම් LEO හා GEO වශයෙනි.

GEO (Geostationary) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල වල දී චන්ද්‍රිකා අඩු ගණනකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කළ හැක. එක් චන්ද්‍රිකාවක් මගින් ලෝකයේ තුනෙන් එකක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැක.චන්ද්‍රිකා 3 ක් හෝ 4 කින් මුළු ලොවම ආවරණය වන පරිදි සංඥා සම්ප්‍රේෂණය කළ හැක. මේ සඳහා භාවිතා වන චන්ද්‍රිකා අභ්‍යවකාශයේ 35786km  උසකින් ඇති කක්‍ෂයක රඳවා තිබේ. මෙම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණයට සමගාමීව අභ්‍යවකාශයේ ගමන් කරන අතර පෘථිවියට සාපේක්‍ෂව මෙවන් චන්ද්‍රිකා එකම ස්ථානයක සථානගතවී ඇත. පෘථිවියේ සිට මෙවන් චන්ද්‍රිකාවලට ඇති විශාල දුර ප්‍රමාණය නිසා දුරකථන සංඥාවලට පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට තත්පර කාලක් පමණ ගතවේ. දුරඇමතුමකදී මෙම පමාව ප්‍රකට වේ. තවද විශාල දුර ප්‍රමාණය නිසා අභ්‍යවකාශයේ ගමන්කරන සංඥා වැඩිවශයෙන් දුර්වල වේ. මෙනිසා LEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල හා සැසඳීමේදී විශාල ප්‍රමාණයේ ඇන්ටෙනා හා වැඩි සම්ප්‍රේෂණ බලයක් මෙහිදී භාවිතා කළ යුතුවේ.
තුරායා හා ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන ජාල මෙවන් GEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

LEO (Low Earth Orbit) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාලවලදී පෘථිවියේ සිට 500-1500km අතර උසකින් පිහිටි කක්‍ෂයක ගමන් කරන චන්ද්‍රිකා භාවිතයට ගැනේ. මෙම චන්ද්‍රිකා අධික වේගයකින් (තත්පරයට 7km පමණ වේගයකින්) පෘථිවිය වටා ගමන් කරන අතර එක් වටයක් සම්පූර්ණ කිරීමට විනාඩි 70-90 අතර කාලයක් ගතවේ.
එක් චන්ද්‍රිකාවකින් එක් අවස්ථාවක පෘථිවියේ කුඩා කොටසක් පමණක් දුරකථන සංඥා මගින් ආවරණය කළ හැකි අතර මුළු ලොවම ආවරණය කිරීමට චන්ද්‍රිකා ගණනාවක් අවශ්‍ය වේ. මෙම වර්ගයේ චන්ද්‍රිකා නිරතුරුවම අභ්‍යවකාශයේ ගමන් කරමින් පවතින නිසා එක් චන්ද්‍රිකාවකින් පෘථිවියේ එක් ප්‍රදේශයක් ආවරණය වන්නේ වරකට විනාඩි 7-20 අතර කාලයකි. එම කාලය චන්ද්‍රිකාව ගමන් කරන උස හා පෘථිවියේ ආවරණය වන ප්‍රදේශය මත රඳා පවතී. මෙවන් චන්ද්‍රිකා දුරකථන ජාලවලට අයත් චන්ද්‍රිකා දුරකථන, GEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර, කුඩා ඇන්ටෙනාවකින් යුක්තව කුඩා සම්ප්‍රේෂණ බලයක් ද භාවිතා කෙරේ. එයට හේතුව පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ඇති අඩු දුර ප්‍රමාණයයි. ඉරිඩියම් හා ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන ජාල මෙම LEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

චන්ද්‍රිකා හා සෙලියුලර් ද්වි මාත දුරකථන (Dual Mode Cellular/Satellite Phones)
මෙම වර්ගයේ දුරකථන මගින් සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාල හා චන්ද්‍රිකා දුරකථන ජාල යන දෙකම භාවිතා කළ හැක. අවශ්‍ය වූ විට සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා හෝ චන්ද්‍රිකා දුරකථන ජාලයක් හරහා සම්බන්ධ විය හැක. බොහෝ චන්ද්‍රිකා දුරකථන මෙම ගණයට අයත් වේ. මෙහි ඇති විශේෂ වාසිය නම් ග්‍රාහකයකුට මිල අඩු සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා සම්බන්ධකම් ඇති කරගැනීමේ හැකියාවත්, එවන් දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති ප්‍රදේශවලදී පමණක් චන්ද්‍රිකා දුරකථන ජාලයකට සම්බන්ධ වීමේ ඇති හැකියාවත් ය.

චන්ද්‍රිකා දුරඇමතුම් සඳහා ප්‍රවේශ කේත (Satellite phone access codes)
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) මගින් +881 න් පටන් ගන්නා අංක චන්ද්‍රිකා දුරකථන සඳහා වෙන්කර ඇත. එහෙත් ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන සඳහා මෙය අදාල නොවේ. මෙම අංක වෙන් කිරීමට පෙර ඉන්මාර්සැට් සඳහා +870-874 දක්වා අංක වලින් පටන් ගන්නා දුරකථන අංක වෙන්කර දී තිබුණි. තවද පසුව ආරම්භ කළ සමහර චන්ද්‍රිකා දුරකථන සේවා වලට +882 අංකය වෙන් කර ඇත. (මෙහිදී + ලකුණින් දැක්වෙන්නේ ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමට මුලින් යෙදිය යුතු කේත අංකයයි. මෙය විවිධ රටවල දී වෙනස් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල 00 භාවිතා වේ. ජංගම දුරකථන වලදී නම් ප්‍රවේශ කේතය ලෙස සෘජුවම + ලකුණ භාවිතා කළ හැක.)

චන්ද්‍රිකා දුරකථන ජාල කිහිපයක් දැනට භාවිතයේ ඇත. මෙයින් සමහරක් මුළු ලොවම ආවරණය කරන අතර තවත් සමහර ජාල ලොව එක් කොටසක් පමණක් ආවරණය කරයි.





    Iridium චන්ද්‍රිකා දුරකථනයක්


Sunday, July 26, 2015

වයිමැක්ස් (WiMax)


වයිමැක්ස් (WiMax – Wordwide Interoperability for Microwave Access) යනුවෙන් හැඳින්වෙන්නේ රැහැන් රහිතව රේඩියෝ තරංග මගින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ තාක්‍ෂණයකි. එමගින් කෙරෙන දත්ත සන්නිවේදනය පුළුල් කලාපීය අන්තර්ජාල (broadband Internet) පහසුකම් ලබාගැනීමට භාවිතා කළ හැක. එහි වින්‍යාසය ජංගම දුරකථන ජාලයකට සමානතාවයක් දක්වයි. වයිමැක්ස් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන හා ආශ්‍රිත කුළුනු මගින් සම්ප්‍රේෂණ ආවරණය සපයන අතර ස්ථාපිත හෝ ජංගම වයිමැක්ස් උපකරණ මගින් සම්ප්‍රේෂණය වන සංඥා ග්‍රහණය කර ගැනේ. ග්‍රාහක උපකරණ අතර ජංගම ආන්ත උපකරණ (mobile terminals), වයිමැක්ස් ග්‍රාහක පහසුකම් සහිත හෝ එම පහසුකම සහිත උපකරණයක් සවිකළ පරිගණක ආදිය වේ. කේබල මගින් පුළුල් කලාපීය අන්තර්ජාල (broadband internet) පහසුකම් සැපයීමට අපහසු අවස්ථාවල සන්නිවේදන ජාලයක අවසන් අදියරේ (last mile) එම පහසුකම සැපයීමට වයිමැක්ස් තාක්‍ෂණය උපයෝගී කරගත හැක.

                      
වයිමැක්ස් තාක්‍ෂණය එක් සථානයක සිට තවත් ස්ථාන කිහිපයකට (point to multipoint) හෝ එකිනෙක අතර සෘජුව සම්බන්ධතා ඇතිකරගත හැකි බැඳි ජාලයක් (mesh network) සඳහා ද භාවිතා කළ හැක.
වයිමැක්ස් තාක්‍ෂණය IEEE 802.16 ප්‍රමිතිය මත පදනම් වී ඇත.
වයිමැක්ස් ජාල වල රේඩියෝ තරංග මූර්ජනයට OFDM (Orthogonal Frequency Division Multiplexing) නම් මූර්ජන තාක්‍ෂණය භාවිතා කෙරේ. එක් එක් රටවල හා සන්නිවේදන ජාලවලට ලබා දී ඇති රේඩියෝ තරංග පරාසයට අනුව 2-11GHz සංඛ්‍යාතය තුළ වයිමැක්ස් සම්ප්‍රේෂණ සිදු කෙරේ.




වයිමැක්ස් මගින්  70Mbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයන් ලබාගත හැක. උපරිම වේගයන් ලබා ගැනීමට හැකියාව ඇත්තේ කෙටි දුර ප්‍රමාණවල වැඩි චැනල කලාප පළලක් හා ඉහළ මූරජන ක්‍රම භාවිතයෙන්ය.
ලොව පුරා සථාපිත වයිමැක්ස් ජාල 500 ට වැඩි ගණනක් දැනට ක්‍රියාත්මකව පවතී.

නමුත් LTE තාක්‍ෂණයේ ව්‍යාප්තියත් සමග WiMax තාක්‍ෂණයේ ව්‍යාප්තිය පසුබෑමට ලක්වී අභාවයට යමින් පවතී.


                                                                                      © කුසල් ඈපා
                                              

Wednesday, May 13, 2015

CDMA

CDMA (Code Division Multiple Access) යනුවෙන් හැඳින්වෙන්නේ වැඩි වශයෙන් තුන්වන පරපුරේ (3G) ජංගම දුරකථන පද්ධතිවල හා රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන පද්ධති වල රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සඳහා භාවිතා වන තාක්‍ෂණයකි.
CDMA තාක්‍ෂණය මුලින්ම දැනට වසර 30කටත් වඩා පෙර ආරක්‍ෂක හමුදාමය සන්නිවේදන කටයුතු සඳහා නිර්මාණය කරන ලද්දකි. CDMA සම්ප්‍රේෂණ වලට අතරමග බාධා කිරීමට (jamming) හෝ අතරමගදී අනවසරයෙන් එම සංඥා ලබාගෙන විකේතනය කිරීමට (intercept and decode) නොහැකි වීම එහි ඇති මූලික ලක්‍ෂණයකි. CDMA තාක්‍ෂණය සඳහා spread spectrum නම් රේඩියෝ තරංගමාලාවේ පුළුල් කොටසක සංඥා පැතිරවීමේ ක්‍රමය සහිත විශේෂිත කේතීකරන (coding) සැකසුමක් භාවිතා වේ.
CDMA තාක්‍ෂණය භාවිතයේදී සෑම ඇමතුමක්ම ඩිජිටල් සංඥා බවට හරවා එම සංඥාවලට අනන්‍ය වූ විශේෂිත කේතයකින් කේතීකරනය කර පුළුල් රේඩියෝ තරංග මාලාවක සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම රේඩියෝ තරංග මාලාව ග්‍රාහකයන් විශාල ගණනක් හවුලේ භාවිතා කරන අතර සෑම ඇමතුමක්ම එයට අනන්‍ය වූ විශේෂිත කේතයකින් කේතීකරනය කර ඇති නිසා සංඥා මිශ්‍ර විමක් සිදුවුවද පසුව වෙන්කරගත හැක. මෙම රේඩියෝ තරංග ග්‍රහනය කරන අන්තයේ ඇති උපාංගය (දුරකථනය) මගින් ග්‍රහනය කරගත් සංඥාවට මුලින් යොදන ලද එයට අනන්‍ය වූ විශේෂිත කේතය යෙදීමෙන් මුලින් සම්ප්‍රේෂණයට පෙර තිබූ ශබ්ද (audio) සංඥාව උකහා ගත හැක.
GSM වැනි බොහෝ 2 වන පරපුරේ (2G) ජංගම දුරකථන පද්ධති වලදී එක් එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශ (cell) සඳහා වෙනස් රේඩියෝ තරංග සංඛ්‍යාත කුලකයක් භාවිත කළ යුතුව ඇත. එක ලඟ ඇති ප්‍රදේශ වලදී ඇතිවන අතුරු බාධාවන් (interference) වැලැක්වීමට මෙසේ එකිනෙකට වෙනස් රේඩියෝ තරංග සංඛ්‍යාත කුලක භාවිතා කෙරේ. CDMA තාක්‍ෂණය භාවිතා කරන 3G ජංගම දුරකථන හා රැහැන් රහිත ස්ථාපිත දුරකථන පද්ධතිවලදී එකම රේඩියෝ තරංග සංඛ්‍යාතයක් එක ලඟ ඇති ප්‍රදේශ ඇතුළු සෑම ප්‍රදේශයකම නැවත නැවතත් භාවිතා කෙරේ. එකම රේඩියෝ සංඛ්‍යාතය එක ලඟ ඇති ප්‍රදේශවලදී එකිනෙකට බාධා නොවී පවත්වා ගැනීමට හා විමූර්ජනයේදී (demodulation) මුල් සංඥාව ලබා ගැනීමට එක් එක් ඇමතුම සඳහා අනන්‍ය වූ විශේෂිත කේතය (code) යෙදවීම මගින් සිදු කෙරේ.






CDMA රැහැන් රහිත ස්ථාපිත දුරකථන
CDMA වර්ගයේ රැහැන් රහිත ස්ථාපිත දුරකථන පද්ධතියක ක්‍රියාකාරිත්වය තරමක් දුරට ජංගම දුරකථන පද්ධතියක ක්‍රියාකාරිත්වයට සමාන වේ. CDMA දුරකථන රේඩියෝ තරංග භාවිතයෙන් ලඟම ඇති සම්ප්‍රේෂණ කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වේ. CDMA දුරකථනයක් ක්‍රියාකිරීමට එම දුරකථන ජාලය ආශ්‍රිත සම්ප්‍රේෂණ ආවරණය වන ප්‍රදේශයක් තුල එය තිබිය යුතුය. CDMA ස්ථාපිත දුරකථන වල, ජංගම දුරකථන මෙන් එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ගමන් කරන විට නොකඩවා දුරකථන සම්බන්ධතාවයක් පවත්වා ගැනීමමේ හැකියාව සීමා වේ.
CDMA රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන ජාල, රැහැන් සහිත දුරකථන සැපයීමට අපහසු ප්‍රදේශවලට විශේෂයෙන් ප්‍රයොජනවත් වේ. දුරකථන කේබල පද්ධතියක් නොමැති වීම හෝ අවශ්‍ය තරම් දුරකථන ලූප් (loop) නොමැති වීම නිසා රැහැන් සහිත සාමාන්‍ය දුරකථන සවිකරීමට අපහසු අවස්ථාවලදී ඉක්මනින් CDMA දුරකථන ලබා ගැනීමට හැකිවීම එහි ඇති වාසියකි.
CDMA රැහැන් රහිත ස්ථාපිත දුරකථනයක් සාමාන්‍යයෙන් එක් ස්ථානයක ස්ථාපනය කර භාවිතයට ගැනේ. CDMA දුරකථනය ක්‍රියාකිරීමට අවශ්‍ය විදුලි බලය ලබාගැනීම සඳහා එය ප්‍රධාන විදුලියට (AC) සම්බන්ධ කළ යුතු ය. දුරකථනය තුල ඇති නැවත ආරෝපණය කළ හැකි (rechargeable) බැටරියක් මගින් විදුලි බලය ඇනහිටි අවස්ථාවල හෝ ප්‍රධාන විදුලි සම්බන්ධතාවය විසන්ධි කළ අවස්ථා වලදී එය ක්‍රියාකිරීමට අවශ්‍ය විදුලි බලය සීමිත කාලයකට ලබා දේ.
CDMA ස්ථාපිත දුරකථන භාවිතයෙන් දුර ඇමතුම්, ෆැක්ස් (fax) හා අන්තර්ජාල පහසුකම් සඳහා දත්ත සම්බන්ධතාවයන් ලබා දිය හැක. බොහෝ CDMA දුරකථනවල කුඩා ඇනටෙනාවක් හා කුඩා තිරයක් (screen) ඇත. CDMA දුරකථනවල ඇති අමතර විශේෂාංග අතර කෙටි පණිවිඩ සේවාව (SMS), ලැබෙන ඇමතුමේ අංකය දැක ගැනීමේ හැකියාව (CLI), ස්පීකර්ෆෝන් පහසුකම ආදිය වේ.

බොහෝ CDMA දුරකථන භාවිතාකර වෙනම මෝඩමයක් (modem) රහිතව පරිගණකයකට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැක.  



           CDMA ස්ථාපිත දුරකථනයක්

CDMA දුරකථන පද්ධති වර්ග

CDMAOne
CDMAOne  යනුවෙන් දැක්වෙන්නේ CDMA තාක්‍ෂණය භාවිතා කරන දෙවන පරපුරේ (2G) ජංගම දුරකථන පද්ධති වර්ගයකි. මෙය ඇමරිකාව, කොරියාව ඇතුළු රටවල් 30 ක‍ට වැඩි ගණනක භාවිතා වේ. CDMAOne පද්ධති IS-95 යනුවෙන්ද හැඳින්වේ. IS-95A පද්ධති දුරකථන ඇමතුම් හා 14.4kbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයන් ලබා දේ. IS-95A වැඩිදියුණු කිරීමෙන් නිරමාණය කළ IS-95B පද්ධති 64kbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබා දීමට සමත්ය. IS-95 වර්ගයේ පද්ධති ජංගම දුරකථනවලට අමතරව රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන සඳහාද රටවල් කිහිපයක භාවිතා වේ.
CDMA ජංගම දුරකථන ශ්‍රී ලංකාවේ භාවිතා කල නොහැක. එයට හේතුව ශ්‍රී ලංකාව තුල CDMA ජංගම දුරකථන පද්ධති භාවිතයේ නොමැති වීමයි. නමුත් GSM හෝ 3G පහසුකම සහිත ද්වි මාත (dual mode)  CDMA ජංගම දුරකථන එම තාක්‍ෂණය (3G හෝ GSM) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැක.

CDMA 2000 1X
CDMA 2000 1X දුරකථන පද්ධති IS-95 වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කර ඇති අතර IS-95 මෙන් ‍දෙගුණයක දුර ඇමතුම් හා දත්ත ධාරිතාවයක් (capacity) ලබා දීමට සමත්ය. CDMA 2000 1X දුරකථන පද්ධති 3 වන පරපුරට (3G) අයත්යයි සැ‍ලකෙන අතර 144kbps දක්වා දත්ත සන්නිවේදන වේගයන් ලබා දීමට සමත්ය.

CDMA 2000 1XEV-DO
CDMA 2000 තාක්‍ෂණය වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කරන ලද මෙම CDMA 2000 1XEV-DO දුරකථන පද්ධති මගින් රැහැන් රහිතව (wireless) දුරඇමතුම්වලට අමතරව දත්ත සන්නිවේදන පහසුකම් මගින් අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද හැක.  CDMA 2000 1XEV-DO යනුවෙන් හැඳින්වෙන්නේ එක් වාහක (carrier) තරංග මාලාවක් සහිතව දත්ත සන්නිවේදනය සඳහා ප්‍රශස්ත කරන ලද බවය. (1X EV-DO යනුවෙන් දැක්වෙන්නේ  1 carrier Evolution – Data Optimised). යටි සබැඳිතාව (downlink) සඳහා 3.1Mbps හා උඩු සබැඳිතාව (uplink) සඳහා 1.8Mbps දත්ත සන්නිවේදන වේගයක්  මෙහිදී ලබා ගත හැක. මෙම දුරකථන පද්ධතිවල දුරඇමතුම් පහසුකම් ද ඇති නමුත් එක් චැනලයක එකම අවස්ථාවේ දුරඇමතුම් හා දත්ත සන්නිවේදන පහසුකම් දෙකම ලබාගත නොහැක.

CDMA 2000 1XEV-DV
CDMA 2000 1XEV-DV යනුවෙන් දැක්වෙන්නේ CDMA2000 තාක්‍ෂණයේ තවත් නිර්මාණයකි. (1XEV-DV
යනුවෙන් සඳහන් වන්නේ 1 carrier Evolution Data and Voice). මෙමගින් එක් වාහක තරංග මාලාවක් තුල එකම අවස්ථාවේ දත්ත හා දුර ඇමතුම් දෙකම ලබාදීමේ හැකියාව දැක්වේ. යටි සබැඳිතාව (downlink) සඳහා 3.1Mbps හා උඩු සබැඳිතාව (uplink) සඳහා 1.8Mbps දත්ත සන්නිවේදන වේගයක්  මෙහිදී ලබා ගත හැක. මෙම දුරකථන පද්ධතිවල දුරඇමතුම් පහසුකම් ද ඇති අතර එක් චැනලයක එකම අවස්ථාවේ දුර ඇමතුම් හා දත්ත සන්නිවේදන පහසුකම් දෙකම ලබාගත හැක.

3G (UMTS) ජංගම දුරකථන
වැඩි වශයෙන් 3G වශයෙන් හැඳින්වෙන 3G UMTS (Universal Mobile Telecommunication System) ජංගම දුරකථන ජාලවල CDMA තාක්‍ෂණය යොදා ගැනෙන අතර එහිදී භාවිතාවන තාක්‍ෂණය WCDMA (Wideband Code Division Multiple Access) යනුවෙන් දැක්වේ.

දුරකථන සම්බන්ධතා පැවරීම (handover)
සාමාන්‍ය (2G) දුරකථන ජාලවලදී දුර ඇමතුමක සම්බන්ධතාවය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට තවත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් දක්වා පැවරීම handover/handoff යනුවෙන් දැක්වේ. ජංගම දුරකථන ග්‍රාහකයකු දුර ඇමතුමක යෙදී සිටින අතරතුර එක් ස්ථානයකින් ඔබ්බට ගමන් කරයි නම් එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ඈතට යන විට එමගින් ලැබෙන සංඥා ක්‍රමයෙන් දුර්වල විය හැක. ඒ අතර වෙනත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකට ලංවත්ම එමගින් ලැබෙන සංඥා ක්‍රමයෙන් ප්‍රබල විය හැක. මෙවන් අවස්ථාවකදී ජංගම දුරකථනය එහි සම්බන්ධතාවය සැනෙකින් කලින් සම්බන්ධ වූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් විසන්ධි කර ලඟාවූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හරහා නව සම්බන්ධතාවයක් ඇති කර ගනී. මෙවන් පවරා ගැනීම් දෘඪ පැවරීමක් (hard handover) නමින් දැක්වෙන අතර CDMA තාක්‍ෂණය භාවිතා නොවන දුරකථන ජාලවල මෙම ක්‍රමය භාවිතා වේ.
CDMA තාක්‍ෂණය භාවිතා වන ජංගම දුරකථන ජාලවල මෙයට වඩා වෙනස් මෘදු පැවරීම (soft handover) නම් ක්‍රමයක් භාවිතා වේ. මෙහිදී ජංගම දුරකථනය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ඔබ්බට යන විට ඒ සමග ඇති සම්බන්ධතාවය විසන්ධි කිරීමට පෙර සංඥා ප්‍රබලව ලැබෙන ලඟාවූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සමග ද සම්බන්ධතායක් ඇති කර ගනී. ඉන් පසු ටික වේලාවකට ජංගම දුරකථනය සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන දෙකම සමගම සම්බන්ධතාවය පවත්වා පසුව මුල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් සම්බන්ධතාවය විසන්ධි කරගනී. මෙම ක්‍රමය මෘදු පැවරීමක් (soft handover) වශයෙන් දැක්වෙන අතර CDMA තාක්‍ෂණය භාවිතාවන ජංගම දුරකථන ජාලවල භාවිතා වේ.

ශ්‍රී ලංකාවේ CDMA දුරකථන භාවිතය
ශ්‍රී ලංකාවේ භාවිතා වන රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) CDMA දුරකථන සඳහා භාවිතා වන්නේ CDMA 2000 1X තාක්‍ෂණයයි. ඩයලොග්, ලංකා බෙල්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් 450, 800 හා 1900 MHz තරංග මාලා භාවිතයෙන් CDMA රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන සේවා සපයයි. ට්‍රයිටෙල් සමාගම 450MHz තරංග මාලාව භාවිතයෙන් CDMA තාක්‍ෂණය උපයෝගී කර පොදු සථාන වල පේෆොන් (payphone) සේවාවක් පවත්වයි.

                                                        © කුසල් ඈපා