CDMA (Code Division Multiple Access) යනුවෙන් හැඳින්වෙන්නේ වැඩි
වශයෙන් තුන්වන පරපුරේ (3G) ජංගම දුරකථන පද්ධතිවල හා
රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන පද්ධති වල රේඩියෝ තරංග සම්ප්‍රේෂණය සඳහා භාවිතා
වන තාක්‍ෂණයකි.
CDMA තාක්‍ෂණය
මුලින්ම දැනට වසර 30කටත් වඩා පෙර ආරක්‍ෂක හමුදාමය සන්නිවේදන කටයුතු සඳහා නිර්මාණය
කරන ලද්දකි. CDMA සම්ප්‍රේෂණ
වලට අතරමග බාධා කිරීමට (jamming)
හෝ අතරමගදී අනවසරයෙන් එම සංඥා ලබාගෙන විකේතනය කිරීමට (intercept and decode) නොහැකි වීම එහි ඇති මූලික ලක්‍ෂණයකි. CDMA තාක්‍ෂණය සඳහා spread spectrum නම් රේඩියෝ තරංගමාලාවේ පුළුල්
කොටසක සංඥා පැතිරවීමේ ක්‍රමය සහිත විශේෂිත කේතීකරන (coding) සැකසුමක් භාවිතා වේ.
CDMA තාක්‍ෂණය භාවිතයේදී සෑම
ඇමතුමක්ම ඩිජිටල් සංඥා බවට හරවා එම සංඥාවලට අනන්‍ය වූ විශේෂිත කේතයකින් කේතීකරනය
කර පුළුල් රේඩියෝ තරංග මාලාවක සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙම රේඩියෝ තරංග මාලාව ග්‍රාහකයන්
විශාල ගණනක් හවුලේ භාවිතා කරන අතර සෑම ඇමතුමක්ම එයට අනන්‍ය වූ විශේෂිත කේතයකින්
කේතීකරනය කර ඇති නිසා සංඥා මිශ්‍ර විමක් සිදුවුවද පසුව වෙන්කරගත හැක. මෙම රේඩියෝ
තරංග ග්‍රහනය කරන අන්තයේ ඇති උපාංගය (දුරකථනය) මගින් ග්‍රහනය කරගත් සංඥාවට මුලින්
යොදන ලද එයට අනන්‍ය වූ විශේෂිත කේතය යෙදීමෙන් මුලින් සම්ප්‍රේෂණයට පෙර තිබූ ශබ්ද (audio) සංඥාව උකහා ගත හැක.
GSM වැනි
බොහෝ 2 වන පරපුරේ (2G) ජංගම දුරකථන පද්ධති වලදී එක් එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන
ආශ්‍රිත ප්‍රදේශ (cell) සඳහා
වෙනස් රේඩියෝ තරංග සංඛ්‍යාත කුලකයක් භාවිත කළ යුතුව ඇත. එක ලඟ ඇති ප්‍රදේශ වලදී
ඇතිවන අතුරු බාධාවන් (interference)
වැලැක්වීමට
මෙසේ එකිනෙකට වෙනස් රේඩියෝ තරංග සංඛ්‍යාත කුලක භාවිතා කෙරේ. CDMA තාක්‍ෂණය භාවිතා කරන 3G ජංගම දුරකථන හා රැහැන් රහිත ස්ථාපිත දුරකථන පද්ධතිවලදී එකම රේඩියෝ තරංග
සංඛ්‍යාතයක් එක ලඟ ඇති ප්‍රදේශ ඇතුළු සෑම ප්‍රදේශයකම නැවත නැවතත් භාවිතා කෙරේ. එකම
රේඩියෝ සංඛ්‍යාතය එක ලඟ ඇති ප්‍රදේශවලදී එකිනෙකට බාධා නොවී පවත්වා ගැනීමට හා
විමූර්ජනයේදී (demodulation) මුල්
සංඥාව ලබා ගැනීමට එක් එක් ඇමතුම සඳහා අනන්‍ය වූ විශේෂිත කේතය (code) යෙදවීම මගින් සිදු කෙරේ.
CDMA රැහැන්
රහිත ස්ථාපිත දුරකථන
CDMA වර්ගයේ
රැහැන් රහිත ස්ථාපිත දුරකථන පද්ධතියක ක්‍රියාකාරිත්වය තරමක් දුරට ජංගම දුරකථන
පද්ධතියක ක්‍රියාකාරිත්වයට සමාන වේ. CDMA
දුරකථන
රේඩියෝ තරංග භාවිතයෙන් ලඟම ඇති සම්ප්‍රේෂණ කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය
සමග සම්බන්ධ වේ. CDMA දුරකථනයක්
ක්‍රියාකිරීමට එම දුරකථන ජාලය ආශ්‍රිත සම්ප්‍රේෂණ ආවරණය වන ප්‍රදේශයක් තුල එය
තිබිය යුතුය. CDMA ස්ථාපිත දුරකථන
වල, ජංගම දුරකථන මෙන් එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ගමන් කරන විට නොකඩවා
දුරකථන සම්බන්ධතාවයක් පවත්වා ගැනීමමේ හැකියාව සීමා වේ.
CDMA රැහැන්
රහිත ස්ථාපිත (fixed wireless)
දුරකථන ජාල, රැහැන් සහිත දුරකථන සැපයීමට අපහසු ප්‍රදේශවලට විශේෂයෙන් ප්‍රයොජනවත්
වේ. දුරකථන
කේබල පද්ධතියක් නොමැති වීම හෝ අවශ්‍ය තරම් දුරකථන ලූප් (loop) නොමැති වීම නිසා රැහැන් සහිත සාමාන්‍ය දුරකථන සවිකරීමට අපහසු අවස්ථාවලදී
ඉක්මනින් CDMA දුරකථන
ලබා ගැනීමට හැකිවීම එහි ඇති වාසියකි.
CDMA රැහැන්
රහිත ස්ථාපිත දුරකථනයක් සාමාන්‍යයෙන් එක් ස්ථානයක ස්ථාපනය කර භාවිතයට ගැනේ. CDMA දුරකථනය ක්‍රියාකිරීමට අවශ්‍ය විදුලි බලය ලබාගැනීම
සඳහා එය ප්‍රධාන විදුලියට (AC) සම්බන්ධ
කළ යුතු ය. දුරකථනය තුල ඇති නැවත ආරෝපණය කළ හැකි (rechargeable) බැටරියක්
මගින් විදුලි බලය ඇනහිටි අවස්ථාවල හෝ ප්‍රධාන විදුලි සම්බන්ධතාවය විසන්ධි කළ අවස්ථා
වලදී එය ක්‍රියාකිරීමට අවශ්‍ය විදුලි බලය සීමිත කාලයකට ලබා දේ.
CDMA ස්ථාපිත දුරකථන
භාවිතයෙන් දුර ඇමතුම්, ෆැක්ස් (fax)
හා
අන්තර්ජාල පහසුකම් සඳහා දත්ත සම්බන්ධතාවයන් ලබා දිය හැක. බොහෝ CDMA දුරකථනවල කුඩා ඇනටෙනාවක් හා කුඩා තිරයක් (screen) ඇත. CDMA දුරකථනවල ඇති අමතර විශේෂාංග අතර කෙටි පණිවිඩ සේවාව
(SMS), ලැබෙන ඇමතුමේ අංකය දැක ගැනීමේ
හැකියාව (CLI), ස්පීකර්ෆෝන්
පහසුකම ආදිය වේ.
CDMA ස්ථාපිත
දුරකථනයක්
CDMA දුරකථන
පද්ධති වර්ග
CDMAOne
CDMAOne යනුවෙන් දැක්වෙන්නේ CDMA තාක්‍ෂණය භාවිතා කරන දෙවන පරපුරේ (2G) ජංගම
දුරකථන පද්ධති වර්ගයකි. මෙය ඇමරිකාව, කොරියාව ඇතුළු රටවල් 30 කට වැඩි ගණනක භාවිතා
වේ. CDMAOne පද්ධති IS-95 යනුවෙන්ද හැඳින්වේ. IS-95A පද්ධති
දුරකථන ඇමතුම් හා 14.4kbps දක්වා
දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයන් ලබා දේ. IS-95A වැඩිදියුණු
කිරීමෙන් නිරමාණය කළ IS-95B පද්ධති
64kbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන
වේගයක් ලබා දීමට සමත්ය. IS-95 වර්ගයේ
පද්ධති ජංගම දුරකථනවලට අමතරව රැහැන් රහිත ස්ථාපිත
(fixed wireless)
දුරකථන සඳහාද රටවල් කිහිපයක භාවිතා වේ.
CDMA ජංගම
දුරකථන ශ්‍රී ලංකාවේ භාවිතා කල නොහැක. එයට හේතුව ශ්‍රී ලංකාව තුල CDMA ජංගම දුරකථන පද්ධති භාවිතයේ නොමැති වීමයි. නමුත් GSM හෝ 3G පහසුකම සහිත ද්වි මාත (dual mode) CDMA ජංගම දුරකථන එම තාක්‍ෂණය (3G
හෝ GSM) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ භාවිතා කළ හැක.
CDMA 2000
1X
CDMA 2000 1X
දුරකථන
පද්ධති IS-95 වැඩි
දියුණු කිරීමෙන් නිර්මාණය කර ඇති අතර IS-95
මෙන් දෙගුණයක දුර
ඇමතුම් හා දත්ත ධාරිතාවයක් (capacity)
ලබා
දීමට සමත්ය. CDMA 2000 1X
දුරකථන පද්ධති 3 වන පරපුරට (3G) අයත්යයි සැලකෙන අතර 144kbps දක්වා දත්ත සන්නිවේදන වේගයන්
ලබා දීමට සමත්ය.
CDMA 2000
1XEV-DO
CDMA 2000 තාක්‍ෂණය
වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කරන ලද මෙම CDMA 2000 1XEV-DO දුරකථන පද්ධති මගින් රැහැන්
රහිතව (wireless) දුරඇමතුම්වලට අමතරව දත්ත
සන්නිවේදන පහසුකම් මගින් අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද හැක. CDMA
2000 1XEV-DO යනුවෙන් හැඳින්වෙන්නේ
එක් වාහක (carrier) තරංග
මාලාවක් සහිතව දත්ත සන්නිවේදනය සඳහා ප්‍රශස්ත කරන ලද බවය. (1X EV-DO යනුවෙන් දැක්වෙන්නේ 1 carrier Evolution – Data Optimised). යටි
සබැඳිතාව (downlink) සඳහා 3.1Mbps හා
උඩු සබැඳිතාව (uplink) සඳහා
1.8Mbps
දත්ත
සන්නිවේදන වේගයක් මෙහිදී ලබා ගත හැක. මෙම
දුරකථන පද්ධතිවල දුරඇමතුම් පහසුකම් ද ඇති නමුත් එක් චැනලයක එකම අවස්ථාවේ දුරඇමතුම්
හා දත්ත සන්නිවේදන පහසුකම් දෙකම ලබාගත නොහැක.
CDMA 2000
1XEV-DV
CDMA 2000
1XEV-DV යනුවෙන් දැක්වෙන්නේ CDMA2000 තාක්‍ෂණයේ තවත් නිර්මාණයකි. (1XEV-DV
යනුවෙන් සඳහන් වන්නේ 1 carrier Evolution Data and Voice). මෙමගින් එක් වාහක
තරංග මාලාවක් තුල එකම අවස්ථාවේ දත්ත හා දුර ඇමතුම් දෙකම ලබාදීමේ හැකියාව දැක්වේ.
යටි සබැඳිතාව (downlink) සඳහා 3.1Mbps හා
උඩු සබැඳිතාව (uplink) සඳහා
1.8Mbps
දත්ත
සන්නිවේදන වේගයක් මෙහිදී ලබා ගත හැක. මෙම
දුරකථන පද්ධතිවල දුරඇමතුම් පහසුකම් ද ඇති අතර එක් චැනලයක එකම අවස්ථාවේ දුර ඇමතුම්
හා දත්ත සන්නිවේදන පහසුකම් දෙකම ලබාගත හැක.
3G (UMTS)
ජංගම දුරකථන
වැඩි වශයෙන් 3G වශයෙන් හැඳින්වෙන 3G UMTS (Universal Mobile Telecommunication System) ජංගම
දුරකථන ජාලවල ද
CDMA තාක්‍ෂණය යොදා ගැනෙන අතර එහිදී භාවිතාවන තාක්‍ෂණය WCDMA (Wideband Code Division Multiple Access) යනුවෙන්
දැක්වේ.
දුරකථන
සම්බන්ධතා පැවරීම (handover)
සාමාන්‍ය
(2G) දුරකථන ජාලවලදී දුර ඇමතුමක
සම්බන්ධතාවය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක සිට තවත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් දක්වා
පැවරීම handover/handoff යනුවෙන්
දැක්වේ. ජංගම දුරකථන ග්‍රාහකයකු දුර ඇමතුමක යෙදී සිටින අතරතුර එක් ස්ථානයකින්
ඔබ්බට ගමන් කරයි නම් එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ඈතට යන විට එමගින් ලැබෙන සංඥා
ක්‍රමයෙන් දුර්වල විය හැක. ඒ අතර වෙනත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකට ලංවත්ම එමගින්
ලැබෙන සංඥා ක්‍රමයෙන් ප්‍රබල විය හැක. මෙවන් අවස්ථාවකදී ජංගම දුරකථනය එහි
සම්බන්ධතාවය සැනෙකින් කලින් සම්බන්ධ වූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් විසන්ධි කර
ලඟාවූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හරහා නව සම්බන්ධතාවයක් ඇති කර ගනී. මෙවන් පවරා
ගැනීම් දෘඪ පැවරීමක් (hard handover) නමින් දැක්වෙන අතර CDMA තාක්‍ෂණය
භාවිතා නොවන දුරකථන ජාලවල මෙම ක්‍රමය භාවිතා වේ.
CDMA තාක්‍ෂණය භාවිතා වන ජංගම
දුරකථන ජාලවල මෙයට වඩා වෙනස් මෘදු පැවරීම (soft handover) නම් ක්‍රමයක් භාවිතා වේ. මෙහිදී
ජංගම දුරකථනය එක් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයකින් ඔබ්බට යන විට ඒ සමග ඇති සම්බන්ධතාවය
විසන්ධි කිරීමට පෙර සංඥා ප්‍රබලව ලැබෙන ලඟාවූ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය සමග ද
සම්බන්ධතායක් ඇති කර ගනී. ඉන් පසු ටික වේලාවකට ජංගම දුරකථනය සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන
දෙකම සමගම සම්බන්ධතාවය පවත්වා පසුව මුල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් සම්බන්ධතාවය විසන්ධි
කරගනී. මෙම ක්‍රමය මෘදු පැවරීමක් (soft
handover) වශයෙන්
දැක්වෙන අතර CDMA තාක්‍ෂණය භාවිතාවන ජංගම
දුරකථන ජාලවල භාවිතා වේ.
ශ්‍රී ලංකාවේ CDMA දුරකථන භාවිතය
ශ්‍රී
ලංකාවේ භාවිතා වන රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) CDMA දුරකථන සඳහා භාවිතා වන්නේ CDMA 2000 1X තාක්‍ෂණයයි. ඩයලොග්, ලංකා බෙල්,
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් 450, 800 හා 1900
MHz තරංග මාලා භාවිතයෙන් CDMA රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන සේවා සපයයි. ට්‍රයිටෙල් සමාගම 450MHz තරංග මාලාව භාවිතයෙන් CDMA තාක්‍ෂණය උපයෝගී කර පොදු සථාන වල පේෆොන් (payphone) සේවාවක් පවත්වයි.
No comments:
Post a Comment