Tuesday, September 15, 2015

චන්ද්‍රිකා දුරකථන (SatPhones)

චන්ද්‍රිකා දුරකථනයක් යනු අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ආධාරයෙන් දුරඇමතුම් ලබාගත හැකි ජංගම දුරකථනයකි. මෙම දුරකථන සැට්ෆෝන් (satphone) යනුවෙන්ද හැඳින්වේ. චන්ද්‍රිකා දුරකථන සඳහා විශේෂ වූ චන්ද්‍රිකා පද්ධතියක් අභ්‍යවකාශයේ රඳවා ඇති අතර චන්ද්‍රිකා දුරකථන එවන් චන්ද්‍රිකා සමග සෘජුව සම්බන්ධතා ඇති කරගනී. චන්ද්‍රිකා දුරකථනයකින් ලබා ගන්නා දුර ඇමතුම් පෘථිවියේ ඇති ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථානයක් (gateway station) හරහා සාමාන්‍ය දුරකථන පද්ධතිවලට සම්බන්ධ වේ. මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා ඩිෂ් ඇනටෙනා වලින් යුක්ත වන අතර චන්ද්‍රිකා දුරකථන පද්ධතියේ දුරඇමතුම් ලෝකයේ අනෙකුත් දුරකථන (සාමාන්‍ය හා ජංගම) පද්ධතිවලට සම්බන්ධ කිරීම මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන හරහා සිදු කෙරේ.
චන්ද්‍රිකා දුරකථන දුරස්ථ ප්‍රදේශවලදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අතර සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති හා වෙනත් සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශවලදී මෙමගින් දුරඇමතුම් ලබාගැනීමට හැකි වීම විශේෂ වාසියකි. මෙවන් චන්ද්‍රිකා දුරකථන පද්ධති GMSS (Global Mobile Satellite Systems) යන නමින්ද හැඳින්වේ.
චන්ද්‍රිකා දුරකථන, සාමාන්‍ය භාවිතයේ ඇති සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන වලට වඩා මිල වැඩි අතර දුර ඇමතුම් ද සාමාන්‍ය ජංගම දුර ඇමතුම් මිලට වඩා වැඩි වේ. චන්ද්‍රිකා දුරකථන මගින් දුරඇමතුම් වලට අමතරව දත්ත සන්නිවේදන සේවා පහසුකම ද සැලසිය හැකි අතර ප්‍රවෘත්ති වාර්තාකිරීම,  හදිසි අවස්ථාවලදී පණිවිඩ හුවමාරුවට, නාවික හා ගුවන් ගමන් වලදී පණිවිඩ හුවමාරුවට, හදිසි ආපදා සහන කටයුතු වල, මුහුදේ ඇති තෙල් හා ගෑස් කැණීම් ආකර වල ආදියේ භාවිතය සඳහා බහුලව යොදා ගැනේ.
චන්ද්‍රිකා දුරකථන විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අවස්ථා හැටියට දැක්විය හැක්කේ හදිසි ආපදා අවස්ථාවලදී වෙනත් සන්නිවේදන මාර්ග අඩපණ වී ඇතිවිට සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කිරී‍මට ඇති හැකියාවයි.
චන්ද්‍රිකා දුරකථනයක විශාලත්වය, භාවිතා වන චන්ද්‍රිකා දුරකථන ජාලය මත රඳා පවතී. සමහර චන්ද්‍රිකා දුරකථන ජාල සඳහා අතේ ගෙනයා හැකි කුඩා ජංගම චන්ද්‍රිකා දුරකථන භාවිතා වන අතර තවත් සමහර චන්ද්‍රිකා දුරකථන ජාලවල භාවිතා වන දුරකථන කුඩා ලැප්ටොප් පරිගණකයක ප්‍රමාණත්වයෙන් යුක්ත වේ.
චන්ද්‍රිකා දුරකථනයක් නිසි පරිදි ක්‍රියා කිරීමට, දුරකථනය අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමග බාධාවකින් තොරව සම්බන්ධවිය හැකි එලිමහන් ස්ථානයක සිට ක්‍රියා කළ යුතුවේ. දුරකථනය හා චන්ද්‍රිකා අතර දෘෂ්ඨි රේඛාව (line of sight) බාධාවලින් තොර විය යුතුය. ගොඩනැගිල්ලක් තුල හෝ චන්ද්‍රිකා සමග ඇති පථයට බාධා වන ස්ථාන වල සිට චන්ද්‍රිකා දුරකථන ක්‍රියා කරවීම අපහසු විය හැක. ගොඩනැගිල්ලක් තුල සිට චන්ද්‍රිකා  දුරකථනයක් හොඳින් ක්‍රියාත්මක කිරීමට එයට සම්බන්ධ කළ ඇන්ටෙනාවක් පිටතින් එලිමහනේ සවිකිරීම අවශ්‍ය විය හැක.
සාමාන්‍ය දුරකථන හෝ ජංගම දුරකථන මගින් චන්ද්‍රිකා දුරකථනයකට ලබාගන්නා ඇමතුම් මිලෙන් අධික විය හැකි අතර එය ජාත්‍යන්තර දුර ඇමතුමකටද වඩා මිලෙන් වැඩි විය හැක.


                    

චන්ද්‍රිකා දුරකථන සේවා සපයන චන්ද්‍රිකා ජාල වර්ග දෙකකි. එනම් LEO හා GEO වශයෙනි.

GEO (Geostationary) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල වල දී චන්ද්‍රිකා අඩු ගණනකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කළ හැක. එක් චන්ද්‍රිකාවක් මගින් ලෝකයේ තුනෙන් එකක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැක.චන්ද්‍රිකා 3 ක් හෝ 4 කින් මුළු ලොවම ආවරණය වන පරිදි සංඥා සම්ප්‍රේෂණය කළ හැක. මේ සඳහා භාවිතා වන චන්ද්‍රිකා අභ්‍යවකාශයේ 35786km  උසකින් ඇති කක්‍ෂයක රඳවා තිබේ. මෙම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණයට සමගාමීව අභ්‍යවකාශයේ ගමන් කරන අතර පෘථිවියට සාපේක්‍ෂව මෙවන් චන්ද්‍රිකා එකම ස්ථානයක සථානගතවී ඇත. පෘථිවියේ සිට මෙවන් චන්ද්‍රිකාවලට ඇති විශාල දුර ප්‍රමාණය නිසා දුරකථන සංඥාවලට පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට තත්පර කාලක් පමණ ගතවේ. දුරඇමතුමකදී මෙම පමාව ප්‍රකට වේ. තවද විශාල දුර ප්‍රමාණය නිසා අභ්‍යවකාශයේ ගමන්කරන සංඥා වැඩිවශයෙන් දුර්වල වේ. මෙනිසා LEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල හා සැසඳීමේදී විශාල ප්‍රමාණයේ ඇන්ටෙනා හා වැඩි සම්ප්‍රේෂණ බලයක් මෙහිදී භාවිතා කළ යුතුවේ.
තුරායා හා ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන ජාල මෙවන් GEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

LEO (Low Earth Orbit) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාලවලදී පෘථිවියේ සිට 500-1500km අතර උසකින් පිහිටි කක්‍ෂයක ගමන් කරන චන්ද්‍රිකා භාවිතයට ගැනේ. මෙම චන්ද්‍රිකා අධික වේගයකින් (තත්පරයට 7km පමණ වේගයකින්) පෘථිවිය වටා ගමන් කරන අතර එක් වටයක් සම්පූර්ණ කිරීමට විනාඩි 70-90 අතර කාලයක් ගතවේ.
එක් චන්ද්‍රිකාවකින් එක් අවස්ථාවක පෘථිවියේ කුඩා කොටසක් පමණක් දුරකථන සංඥා මගින් ආවරණය කළ හැකි අතර මුළු ලොවම ආවරණය කිරීමට චන්ද්‍රිකා ගණනාවක් අවශ්‍ය වේ. මෙම වර්ගයේ චන්ද්‍රිකා නිරතුරුවම අභ්‍යවකාශයේ ගමන් කරමින් පවතින නිසා එක් චන්ද්‍රිකාවකින් පෘථිවියේ එක් ප්‍රදේශයක් ආවරණය වන්නේ වරකට විනාඩි 7-20 අතර කාලයකි. එම කාලය චන්ද්‍රිකාව ගමන් කරන උස හා පෘථිවියේ ආවරණය වන ප්‍රදේශය මත රඳා පවතී. මෙවන් චන්ද්‍රිකා දුරකථන ජාලවලට අයත් චන්ද්‍රිකා දුරකථන, GEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර, කුඩා ඇන්ටෙනාවකින් යුක්තව කුඩා සම්ප්‍රේෂණ බලයක් ද භාවිතා කෙරේ. එයට හේතුව පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ඇති අඩු දුර ප්‍රමාණයයි. ඉරිඩියම් හා ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන ජාල මෙම LEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

චන්ද්‍රිකා හා සෙලියුලර් ද්වි මාත දුරකථන (Dual Mode Cellular/Satellite Phones)
මෙම වර්ගයේ දුරකථන මගින් සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාල හා චන්ද්‍රිකා දුරකථන ජාල යන දෙකම භාවිතා කළ හැක. අවශ්‍ය වූ විට සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා හෝ චන්ද්‍රිකා දුරකථන ජාලයක් හරහා සම්බන්ධ විය හැක. බොහෝ චන්ද්‍රිකා දුරකථන මෙම ගණයට අයත් වේ. මෙහි ඇති විශේෂ වාසිය නම් ග්‍රාහකයකුට මිල අඩු සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා සම්බන්ධකම් ඇති කරගැනීමේ හැකියාවත්, එවන් දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති ප්‍රදේශවලදී පමණක් චන්ද්‍රිකා දුරකථන ජාලයකට සම්බන්ධ වීමේ ඇති හැකියාවත් ය.

චන්ද්‍රිකා දුරඇමතුම් සඳහා ප්‍රවේශ කේත (Satellite phone access codes)
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) මගින් +881 න් පටන් ගන්නා අංක චන්ද්‍රිකා දුරකථන සඳහා වෙන්කර ඇත. එහෙත් ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන සඳහා මෙය අදාල නොවේ. මෙම අංක වෙන් කිරීමට පෙර ඉන්මාර්සැට් සඳහා +870-874 දක්වා අංක වලින් පටන් ගන්නා දුරකථන අංක වෙන්කර දී තිබුණි. තවද පසුව ආරම්භ කළ සමහර චන්ද්‍රිකා දුරකථන සේවා වලට +882 අංකය වෙන් කර ඇත. (මෙහිදී + ලකුණින් දැක්වෙන්නේ ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමට මුලින් යෙදිය යුතු කේත අංකයයි. මෙය විවිධ රටවල දී වෙනස් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල 00 භාවිතා වේ. ජංගම දුරකථන වලදී නම් ප්‍රවේශ කේතය ලෙස සෘජුවම + ලකුණ භාවිතා කළ හැක.)

චන්ද්‍රිකා දුරකථන ජාල කිහිපයක් දැනට භාවිතයේ ඇත. මෙයින් සමහරක් මුළු ලොවම ආවරණය කරන අතර තවත් සමහර ජාල ලොව එක් කොටසක් පමණක් ආවරණය කරයි.





    Iridium චන්ද්‍රිකා දුරකථනයක්





ඉරිඩියම් (Iridium)
ඉරිඩියම් චන්ද්‍රිකා දුරකථන ජාලය මුලින්ම චන්ද්‍රිකා 77ක් භාවිතා කර ක්‍රියා කිරීමට නිර්මාණය කරන ලදී. පරමාණු අංක 77 දරණ රසායන ද්‍රව්‍යය වන ඉරිඩියම් නමින් මෙම ජාලය නම් කිරීමට මෙය හේතුවිය. පසුව චන්ද්‍රිකා 66ක් පමණක් භාවිතයෙන් මෙම චන්ද්‍රිකා දුරකථන ජාලය ආරම්භ වූ නමුත් ඉරිඩියම් නම මුලින් සැළසුම් කර තිබූ පරිදිම භාවිතයට ගැනුනි.
ලොව භාවිතයේ ඇති විශාලතම චන්ද්‍රිකා දුරකථන පද්ධතිය ඉරිඩියම් වේ. එමගින් අතේ ගෙන යා හැකි චන්ද්‍රිකා දුරකථන මගින් දුර ඇමතුම් හා දත්ත සන්නිවේදන පහසුකම් සැපයෙන අතර මුළු ලොවම ආවරණය වන එකම චන්ද්‍රිකා දුරකථන ජාලය මෙය වේ. මෙමගින් උත්තර හා දක්‍ෂිණ ධ්‍රැව ප්‍රදේශ පවා ආවරණය වේ. ආරක්‍ෂක හේතූන් මත ලොව සමහර ප්‍රදේශ වල ඉරිඩියම් සේවා සීමා කර ඇත. සුනාමි අනතුරු ඇඟවීම් පද්ධති සඳහා ද ඉරිඩියම් චන්ද්‍රිකා ජාලය භාවිතයට ගැනේ.
ඉරිඩියම් චන්ද්‍රිකා දුරකථන ජාලය මොටරෝලා (Motorola) සමාගම මගින් නිරමාණය කරන ලද අතර එය 1998 නොවැම්බර් මස ප්‍රථමයෙන් ක්‍රියාත්මක විය. මෙම ව්‍යාපෘතියට ඇමරිකාණු ඩොලර් මිලියන 5700 වැය වුන නමුත් වසර දෙකකට පසු එය බංකොලොත් භාවයට පත් විය.
සෙලියුලර් ජංගම දුරකථන ජාලවල ඇතිවූ වැඩිදියුණු කිරීම් හා ඉක්මන් ව්‍යාප්තියත්, එමගින් සැපයෙන රෝමිං (roaming) පහසුකම මගින් විදේශ රටවලදීත් ජංගම දුරකථන භාවිතා කිරීමේ හැකියාව උදාවීමත් නිසා චන්ද්‍රිකා දුරකථන සඳහා එතරම් ඉල්ලුමක් ඇති නොවීමට හේතු විය. චන්ද්‍රිකා දුරකථන ජාලවල දුරඇමතුම් වල අධික මිල ගණනත් ජංගම සෙලියුලර් දුරකථන මගින් එයට වඩා අඩු මුදලට දුර ඇමතුම් ලබා ගැනීමට හැකි වීමත් චන්ද්‍රිකා දුරකථන ජනප්‍රිය නොවීමට තවත් හේතුවකි.
1999 අගෝස්තු මස ඉරිඩියම් සමාගම බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කළ අතර එහි චන්ද්‍රිකා කක්‍ෂයෙන් පිටතට ගෙන දවාලීමට කටයුතු සංවිධානය කෙරුනි. එම අවස්ථාවේ ආයෝජකයන් පිරිසක් එම මුළු ව්‍යාපෘතියම අයත් චන්ද්‍රිකා ඇමරිකානු ඩොලර් මිලියන 25 මිලට ගැනීමට ඉදිරිපත් වූහ. නව ආයොජකයන් පිරිස මෙම ව්‍යපෘතිය නැවත පණ ගැන්වූ අතර දැන් එමගින් දුර ඇමතුම්, දත්ත සන්නිවේදන, ෆැක්ස්, SMS කෙටි පණිවිඩ, පෙර ගෙවුම් සේවා (pre paid services), පේජිං සේවා (paging services) ආදි‍ය සැපයේ.

ඉරිඩියම් චන්ද්‍රිකා
ඉ‍රිඩියම් චන්ද්‍රිකා ජාලය LEO වර්ගයේ චන්ද්‍රිකා 66 කින් යුක්ත වේ. මෙයට අමතරව අවශ්‍ය වූ විට භාවිතයට ගත හැකි අමතර චන්ද්‍රිකා ගණනාවක්ද ඇත. මෙම චන්ද්‍රිකා කක්‍ෂ 6 ක පෘථිවියෙන් 780 km උසින් ගමන් කරති. එක් ක‍ක්‍ෂයක චන්ද්‍රිකා 11ක් ඇත. චන්ද්‍රිකාවක සංඥා සම්ප්‍රේෂණ බලය වොට් 400 ක් පමණ වේ. ඉරිඩියම් චන්ද්‍රිකා පෘථිවිය වටා සෑම විනාඩි 100 කට වරක්ම ගමන් කරයි. සෑම චන්ද්‍රිකාවක්ම එම කක්‍ෂයේ ඇති තවත් චන්ද්‍රිකා දෙකක් හා ආසන්න කක්‍ෂයක ඇති චන්ද්‍රිකා දෙකක් සමග සෘජු සම්බන්ධතාවයක් (link) පවත්වා ගනී.

ඉරිඩියම් පෘථිවි පාලක මධ්‍යස්ථන
ඉරිඩියම් චන්ද්‍රිකා ජාලයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා හි පිහිටා ඇති අතර උපස්ථ (backup) මධ්‍යස්ථානයක් ඇරිසෝනා හි පිහිටා ඇත. චන්ද්‍රිකා දුරකථන ජාලය හා පොදු දුරකථන ජාලය අතර සම්බන්ධතා සඳහා ප්‍රවේශ ද්වාර (gateway) මධ්‍යස්ථානයද ඇමරිකාවේ ඇරිසෝනාහි පිහිටා ඇත. ඉරිඩියම් චන්ද්‍රිකා දුරකථන අතර හුවමාරු වන ඇමතුම්, චන්ද්‍රිකා අතර ඇති සම්බන්ධතා (links) මගින් සෘජුවම සම්බන්ධ කෙරේ. මෙයට අමතරව ලෝකයේ තවත් ස්ථාන හතරක උප පාලක මධ්‍යස්ථාන පිහිටා ඇත.
ඉරිඩියම් චන්ද්‍රිකා දුරකථන ජාලයේ සංඥා L තරංග මාලාවේ 1616-1625 MHz අතර සංඛ්‍යාතයක හුවමාරු වේ. ඉරිඩියම් චන්ද්‍රිකා දුරකථන අංක +8816 හෝ +8817 අංක වලින් පටන් ගෙන තවත් අංක අටකින් යුක්ත වේ.
                                                         
                                   


                      මෝටරෝලා වර්ගයේ චන්ද්‍රිකා දුරකථනයක්

ඉරිඩියම් නෙක්ස්ට් (Iridium Next)
ඉරිඩියම් නෙක්ස්ට් යනුවෙන් හැඳින්වෙන්නේ දැනට ඇති ඉරිඩියම් චන්ද්‍රිකා ප්‍රතිස්ථාපනය කරන මීලඟ පරපුරේ චන්ද්‍රිකා වලටය. නව පරපුරේ චන්ද්‍රිකා අමතර විශේෂ පහසුකම් සහ වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දේ. තවද  මෙම චන්ද්‍රිකා අන්තර්ජාල නියමාවලිය (IP -Internet Protocol) භාවිතයෙන් ක්‍රියා කරන අතර නව චන්ද්‍රිකා 2015 වසරේ සිට අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය.

ග්ලෝබල්ස්ටාර් (Globalstar)
ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන ජාලය LEO (Low Earth Orbiting) වර්ගයේ පෘථිවියට ආසන්න පහලින් ඇති කක්ෂ වල ගමන් ගන්නා චන්ද්‍රිකා 40කින් හා අමතර චන්ද්‍රිකා 4 කින් සමන්විත වේ.
මෙම ජාලය සංඥා සම්ප්‍රේෂණය සඳහා CDMA සම්ප්‍රේෂණ තාක්‍ෂණය භාවිතා කරන අතර ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථනයක ඇමතුමකට, එක් අවස්ථාවක චන්ද්‍රිකා එකකට වඩා වැඩි ගණනක් හරහා සම්බන්ධතාවය පවත්වා ගත හැක. CDMA තාක්‍ෂණයේ ඇති මෙම ලක්‍ෂණය නිසා මෙවන් අවස්ථාවක එක් චන්ද්‍රිකාවක් සමග සම්බන්ධතාවය අවහිර වුවද අනෙක් චන්ද්‍රිකා හරහා ඇති සම්බන්ධතාවය නිසා බාධාවකින් තොරව දුර ඇමතුම පවත්වාගන යා හැක.
ග්ලොබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන ජාල මගින් ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 80% ක් ඇතුළත් ව රටවල් 120 කට සංඥා ආවරණය ‍සැපයේ. (උත්තර හා දක්‍ෂිණ ධ්‍රැව ප්‍රදේශ ආවරණය නොවේ.) ඉරිඩියම් ජාලය මෙන් නොව මෙම ජාලය තුළ චන්ද්‍රිකා එකිනෙක අතර සම්බන්ධතා (inter satellite links) පවත්වා ගැනීමක් සිදු නොවේ. එම නිසා ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන සේවය ලබා ගැනීමට දුරකථනය සම්බන්ධ වන චන්ද්‍රිකාව පෘථිවියේ ඇති ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථානයක (gateway station) දර්ශන පථයේ තිබිය යුතුය. මේ නිසා දැනට ශ්‍රී ලංකාව, ඉන්දියාව හා අප්‍රිකාවේ වැඩි කොටසකට ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා සේවය මගින් ආවරණය නොකෙරේ.
ප්‍රථම ග්ලොබල්ස්ටාර් චන්ද්‍රිකාව 1998 පෙබරිවාර මස අභ්‍යවකාශ ගත කරන ලදී. 1998 සැප්තැම්බර් 12 දා රුසියාවේ යුක්රේනයේ දී අභ්‍යවකාශ ගත කරන ලද රොකට්ටුවක්  විනාශ වී කසකස්ථානයේ දී කඩා වැටීමෙන් අභ්‍යවකාශයට කක්ෂ ගත කිරීමට ගෙන යමින් තිබූ ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා 12 ක් විනාශ විය. 2000 පෙබරවාරි මාසයේ දී ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා සේවය නිල වශයෙන් ආරම්භ විය. පෘථිවියෙන් 1414km උස කක්ෂ 8ක  මෙම චන්ද්‍රිකා ගමන් ගන්නා අතර එක් චන්ද්‍රිකාවක් පෘථිවිය වටා යාමට විනාඩි 114ක් ගත කරයි. එක් චන්ද්‍රිකාවක සංඥා සම්ප්‍රේෂණ බලය වොට් 380 කි. ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා ජාලයේ පෘථිවි ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන (gateway stations) 24 ක් ඇත.
2002 පෙබරවාරි මස ඉරිඩියම් මෙන්ම ග්ලෝබල්ස්ටාර් සමාගම ද බංකොලොත් භාවයට පත්විය. ඇමරිකානු ඩොලර් මිලියන 4300 ක් වැය කර නිරමාණය කළ ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා ජාලය එම ගනනින් 1% කටත් ආසන්න ගණනක් වූ ඩොලර් මිලියන 43කට වෙනත් සමාගමක් මගින් මිලයට ගන්නා ලදී.
ග්ලොබල්ස්ටාර් චන්ද්‍රිකා ජාලය සඳහා දෙවන පරපුරේ චන්ද්‍රිකා 48ක් අභ්‍යවකාශ ගත කිරීම 2010 ඔක්තොබර් මස ඇරඹුනි.
ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන +8818 හා +8819 අංකවලින් පටන් ගනී. නමුත් දුරකථන බොහෝ ගණනකට කලින්ම ඇමරිකානු දුරකථන අංක ලබා දී තිබුණි. ග්ලෝබල්ස්ටාර් දුරකථන L තරංගමාලාවේ, උඩු සබැඳිතාව (uplink) සඳහා 1.6GHz රේඩියෝ තරංගමාලාවද, යටි සබැඳිතාව (downlink) සඳහා 2.4GHz රේඩියෝ තරංගමාලාව ද භාවිතයට ගනී.

ACeS (Asia Cellular Satellite)
ACeS චන්ද්‍රිකා දුරකථන ජාලය GEO වර්ගයේ චන්ද්‍රිකා දෙකක් භාවිතා කරයි. ගරුඩා 1 හා ගරුඩා 2 මෙම චන්ද්‍රිකා දෙකයි. මෙම චන්ද්‍රිකා දුරකථන ජාලය සඳහා තායිලන්තයේ හා පිලිපීනයේ ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන (gateway stations) දෙකක් ඇති අතර මෙම ජාලය මගින් ආවරණය වන ප්‍රදේශය ආසියාවේ කොටසකට සීමාවේ. මෙම චන්ද්‍රිකා දුරකථන ජාලයේ චන්ද්‍රිකා දුරකථන +88220 අංකයෙන් ආරම්භ වේ.


                                                               
                                                                            Qualcomm චන්ද්‍රිකා දුරකථනයක්

MSat
MSat උතුරු ඇමරිකාව ආවරණය වන ප්‍රාදේශීය චන්ද්‍රිකා දුරකථන ජාලයකි.

ඉන්මාර්සැට් (Inmarsat)
ඉන්මාර්සැට් ලොව ප්‍රථමයෙන් ඇරඹුන චන්ද්‍රිකා දුරකථන ජාලය යි. 1978 දී ජාත්‍යන්තර රාජ්‍ය ආයතනයක් ලෙස මුලින් මෙය ඇරඹුන අතර එය ජාත්‍යන්තර නාවික චන්ද්‍රිකා ආයතනය (Inmarsat – International Maritime Satellite Organisation)  ලෙස හැඳින්වුනි. 1999 දී ඉන්මාර්සැට් පුද්ගලික ආයතනයක් බවට පත් කෙරුනි. ඉන්මාර්සැට් චන්ද්‍රිකා සංඥා ලොව 98% ක ප්‍රදේශයක් පුරා විහිදේ.

ඉන්මාර්සැට් චන්ද්‍රිකා
ඉන්මාර්සැට් චන්ද්‍රිකා GEO වර්ගයට අයත් වන අතර පෘථිවියේ සිට 37,786km උසින් එම චන්ද්‍රිකා 11 ක් ස්ථාන ගත කර ඇත. ඉන්මාර්සැට් I-2 දෙවන පරපුරේ චන්ද්‍රිකා 4 ක් 1990 දශකයේ මුල් භාගයේ අභ්‍යවකාශ ගත කෙරුන අතර එයින් 3 ක් තවම සේවයේ පවතී. එක් I-2 වර්ගයේ චන්ද්‍රිකාවක් භාවිතයෙන් ඉවත් කර ඉහළ කක්ෂයක ක්‍රියාකාරී චන්ද්‍රිකා වලින් ඉවත්ව නවතා ඇත. 1996-98 අතර ඉන්මාර්සැට් I-3 වර්ගයේ චන්ද්‍රිකා 5ක් අභ්‍යවකාශ ගත කෙරුන අතර ඒ සියල්ල තවමත් සේවයේ පවතී. මීලඟ පරපුරේ ඉන්මාර්සැට් I-4 වර්ගයේ චන්ද්‍රිකා තුනක් ද 2005-2008 අතර දී අභ්‍යවකාශ ගත කෙරුණි. ඉන්මාර්සැට් 5S නමින් නව චන්ද්‍රිකා 2013-2014 අතර අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. ඉන්මාර්සැට් I-4 හා 5S චන්ද්‍රිකා කලින් යැවූ චන්ද්‍රිකා වලට වඩා උසස් සේවා සපයන අතර පුළුල් කලාපීය දත්ත සන්නිවේදන (broadband) පහසුකම් ද ඒ අතර වේ.
ඉන්මාර්සැට් මූලස්ථනය එංගලන්තයේ ලන්ඩන් වල පිහිටා ඇති අතර රටවල් 29 ක ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන (gateways) 29ක් පිහිටා ඇත. සමහර සුනාමි අනතුරු ඇඟවීම් පද්ධති ඒ සඳහා ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන ජාලය යොදා ගනී.
බොහෝ ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන කුඩා ලැප්ටොප් පරිගණකයකට සමාන විශාලත්වයෙන් යුක්ත වේ. මෑත දී අතේ ගෙන යා හැකි කුඩා ඉන්මාර්සැට් ජංගම චන්ද්‍රිකා දුරකථන එළි දැක්වුන අතර එම දුරකථන ඉන්මාර්සැට් I-4 චන්ද්‍රිකා හරහා සම්බන්ධතා ඇති කර ගනී.
ඉන්මාර්සැට් දුරකථන +870 අංකයෙන් ආරම්භ වේ.


                                         
                                                                    ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථනයක්


තුරායා (Thuraya)
 තුරායා චන්ද්‍රිකා දුරකථන සේවය යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාවේ කොටසක්. මධ්‍යම හා දකුණු ආසියාව හා ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශ වල රටවල් 140කට සේවය සපයයි. තුරායා චන්ද්‍රිකා GEO වර්ගයට අයත් වන අතර පෘථිවියට 35,786km ඉහලින් චන්ද්‍රිකා 3 ක් ස්ථාන ගත කර ඇත. ප්‍රථම තුරායා චන්ද්‍රිකාව 2000 ඔක්තෝබර් වලද, දෙවන චන්ද්‍රිකාව 2003 ජුනි වලද, තුන්වන චන්ද්‍රිකාව 2006 ජනවාරි වලද අභ්‍යවකාශ ගත කෙරුනි. තුරායා චන්ද්‍රිකා දුරකථන ජාලයේ පාලක මධ්‍යස්ථානය හා ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හි පිහිටුවා ඇත.
තුරායා චන්ද්‍රිකා දුරකථන ජාලය මගින් ThurayaDSL  නමින් අන්තර්ජාල හා දත්ත සන්නිවේදන පහසුකම් සේවා ද සැපයේ. මෙමගින් කුඩා ලැප්ටොප් පරිගණකයක ප්‍රමාණයේ දුරකථනයකින් 144kbps දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබාගත හැක.
තුරායා චන්ද්‍රිකා දුරකථන +88216 අංකයෙන් ආරම්භ වේ.
තුරායා චන්ද්‍රිකා දුරකථන උඩුසබැඳිතාව (uplink) සඳහා 1.66GHz ද යටි සබැඳිතාව (downlink) සඳහා 1.56GHz සංඛ්‍යාතයේ තරංගමාලා භාවිතා කරයි.
   


                                                    
තුරායා ද්විමාත (dual mode GSM/Sat)  චන්ද්‍රිකා දුරකථනය.                





තුරායා DSL පැකට් දත්ත (packet data144kbps දක්වා යැවිය හැක චන්ද්‍රිකා දුරකථනය.


                                                                                               © කුසල් ඈපා



3 comments: