Sunday, October 5, 2014

ජංගම දුරකථනවල ඇති විශේෂාංග හා පහසුකම්



ජංගම දුරකථනවල ග්‍රාහකයන්ට විශේෂයෙන් ප්‍ර‍යෝජනවත් වන ‍විශේෂංග හා පහසුකම් බොහොමයක් ඇත. එයින් බහුලව භාවිතා වන කිහිපයක් මෙහි විස්තර කර ඇත.




SIM කාඩ් පත
SIM  කාඩ් ජංගම දුරකථන වල ප්‍රථමයෙන් භාවිතයට ගැනුනේ  GSM ජංගම දුරකථන ජාලවල දී ය . SIM යනුවෙන් දැක්වෙන්නේ Subscriber Identity Module හෙවත් ග්‍රාහක අනන්‍යතා මොඩියුලය යි. SIM කාඩ් පත කුඩා සෘජුකණාස්‍රාකාර හැඩයකින් යුක්තය. බොහෝ ඩිජිටල් ජංගම දුරකථන ක්‍රියා කිරීමට ඒ තුලට SIM කාඩ් පතක් ඇතුළු කළ යුතුය. එය බොහෝ අවස්ථාවල බැටරියට යටින් ඇතුළු කළ යුතුය. SIM කාඩ් පත තුල පුද්ගල අනන්‍යතා විස්තර, ජංගම දුරකථන ජාලය හා දුරකථන අංකය සම්බන්ධ විස්තර ඇතුළත්ව ඇති අතර, දුරකථන අංක නාමාවලි විස්තර, SMS පණිවිඩ ආදිය ගබඩා කිරීමට ද භාවිතා කෙරේ. ජංගම දුරකථන අංකය SIM කාඩ් පතට අනුයුක්ත වන අතර SIM කාඩ් පත වෙනත් දුරකථනයකට ඇතුලත් කළ විට එම දුරකථනය SIM කඩ්පත හා අනුයුක්ත දුරකථන අංකයට අනුව ක්‍රියා කෙරේ. 3G UMTS ජංගම දුරකථන ජාල වල භාවිතා වන SIM කාඩ් පත් USIM කාඩ්පත් වශයෙන් හැඳින්වේ. සමහර නවීන දුරකථනවල මයික්‍රෝ හෝ නැනෝ සිම් (Micro/Nano SIM) වශයෙන් හැඳින්වෙන් කුඩා ප්‍රමාණයේ SIM කාඩ් පත් භාවිතා වේ.
Dual SIM වර්ගයේ ජංගම දුරකථන වලට SIM කාඩ්පත් දෙකක් ඇතුළු කළ හැකි අතර එවන් දුරකථනවලට දුරකථන අංක දෙකකට අනුකූලව ක්‍රියා කළ හැක.
විදේශ රටවල සංචාරය කරන අවස්ථාවල එම රටවල පෙර ගෙවූ (prepaid) SIM කාඩ්පතක් මගින් එම රටට අදාළ දේශීය දුරකථන අංකයක් ලබා ගත හැක. මේ සඳහා රැගෙන යන ජංගම දුරකථනය එම රටට අදාල ජංගම දුරකථන ජාලවලට අනුකූල සංඛ්‍යාත පරාසයක ක්‍රියාකළ යුතු වේ. තවද ජංගම දුරකථනය SIM Lock හෝ Network Lock මගින් භාවිතය සීමා කර නොතිබිය යුතුය. විකල්පයක් වශයෙන් රෝමිං (roaming) සේවා භාවිතයෙන් තම මුල් දුරකථන අංකයද විදේශ රටකදී භාවිතා කළ හැක.
                                                                    
                       



SIM Backup
SIM කාඩ් පතක ගබඩා කර ඇති තොරතුරු (දුරකථන අංක නාමාවලි, SMS පණිවිඩ ආදිය) SIM backup කිරීම මගින් පරිගණකයකට සුරැකිව යවා ගබඩා කළ හැක. මේ සඳහා ජංගම දුරකථනය පරිගණකයකට සම්බන්ධ කළ යුතු අතර සුදුසු මෘදුකාංග භාවිතා කළ යුතුය.

ජංගම දුරකථන ආරක්‍ෂිත කේත

SIM /Network Lock
ජංගම දුරකථන සමාගම් සමහර අවස්ථාවලදී, විශේෂයෙන් දුරකථනය සහන මිලට ලබාදෙන අවස්ථාවල දුරකථනය SIM Lock  හෝ Network Lock කිරීම මගින් එම දුරකථනය වෙනත් SIM කාඩ් පත් සමග භාවිතා කිරීම වැලැක්වීමට ක්‍රියා කරයි.  SIM Lock කිරීම මගින් එක් SIM කාඩ්පතකට පමණක් දුරකථනය භාවිතය සීමා කිරීම සිදුවේ. Network Lock මගින් දුරකථනය එක් ජංගම දුරකථන ජාලයකට අයත් SIM කාඩ් පත් සමග පමණක් හාවිතා කිරීමට ඉඩ ලබා‍දේ.
SIM  හෝ Network Lock කර ඇති දුරකථන unlock කිරීම දුරකථනයේ යතුරු පුවරුව මගින් විශේෂ කේත අංක (unlock codes)  ඇතුළු කිරීම මගින් කළ හැක. එම කේත අංක සාමාන්‍යෙයන් දුරකථනය lock කළ ජංගම දුරකථන සමාගමෙන් ලබා ගත හැක.

Security/Lock Code
බොහෝ දුරකථන අනවසර භාවිතයෙන් වැළැක්වීමට  විශේෂ ආරක්‍ෂිත කේත ඇතුළු කිරීමේ හැකියාවෙන් යුක්තය. මෙම ආරක්‍ෂිත කේත සාමාන්‍යයෙන් ඉලක්කම් 5 කින් යුක්ත වේ. Nokia වර්ගයේ දුරකථන ඇතුළු බොහෝ දුරකථනවල මෙම ආරක්‍ෂිත කේත අංකය මුලින් 12345 අංකයට පිහිටුවා ඇත. මෙය තමන්ට අවශ්‍ය අංකයකට වෙනස් කරගත හැක. මෙම පහසුකම සක්‍රීය කළ ඇති අවස්ථාවල දුරකථනය භාවිතයට පෙර එම ආරක්‍ෂිත කේත අංකය ඇතුළු කළ යුතුය. මෙමගින් අනවසර භාවිතය වැළකේ. මෙම ආරක්‍ෂිත කේත (Security/Lock Code) දුරකථනය ආරක්‍ෂා කිරීමට යොදා ගැනෙන අතර SIM කාඩ්පත ආරක්‍ෂා කර ගැනීමට PIN Codes යනුවෙන් වෙනත් කේත අංක භාවිතා කෙරේ.

පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN – Personal Identification Code)
PIN නමින් හැඳින්වෙන අංකය SIM කාඩ් පත් වල ඇති විශේෂාංගයකි. මෙම අංකය සහිත පහසුකම සක්‍රීය කර ඇති විට සෑම අවස්ථාවකම ජංගම දුරකථන යතුරු පුවරුව භාවිතා කිරීමට පෙර මෙම අංකය ඇතුළු කළ යුතුය. පිටපිටම තුන්වරක් වැරදි PIN අංක ඇතුළු කළහොත් SIM කාඩ්පත බාධිත (blocked) තත්වයට පත්වේ. ‍බොහෝ SIM කාඩ්පත්වල මෙම PIN අංකය 0000 වශයෙන් මුලින් සකසා ඇති අතර එය තමන්ට කැමති ඕනෑම ඉලක්කම් 4ක අංකයකට වෙනස් කරගත හැක.

PUK (Personal Unblocking Key)
වැරදි PIN අංකය පිටපිටම තුන්වරක් ඇතුළු කර SIM කඩ්පත බාධිත තත්වයට පත්වී ඇති විට එය නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට (unblock) මෙම PUK අංකය ඇතුළු කළ යුතුවේ. එය ඉලක්කම් 4-8 අතර ඇති අංකයක් වන අතර සාමාන්‍යයෙන් SIM කාඩ් පත සමග එම අංකය ලබාදේ. බාධිත SIM කාඩ් පතක් unblock කිරීමට වැරදි PUK අංකයක් 10 වරක් ඇතුළු කළ හොත් එම SIM කාඩ්පත නැවත භාවිතයට ගතනොහැකි වන පරිදි අක්‍රිය තත්වයට පත්වේ. PUK අංකය SIM කාඩ්පත සමග සපයා නොමැති අවස්ථාවක එය SIM කාඩ් පත විකිණූ ජංගම දුරකථන සමාගමෙන් හෝ එහි ඒජන්ත වරයාගෙන් ලබාගත හැක.    

PIN2/PUK2
ජංගම දුරකථන ජාල ආශ්‍රිත සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට PIN2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ. මෙම අංකය SIM කාඩ් පත සමග යම් අවස්ථාවල සැපයේ. මෙමගින් වැඩි ආරක්‍ෂක පියවරක් SIM කාඩ් පතට ලැබේ. PIN2 අංකය වැරදි ලෙස ඇතුළු කර SIM කාඩ් පත බාධිත තත්වයට පත්වුවහොත් එය නැවත යථා තත්වයට පත් කිරීමට PUK2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ.

Barring Password
ජංගම දුරකථන වල ඇති පහසුකම් සීමා කිරීමට barring password භාවිතා කෙරේ. දුර ඇමතුම් ලබාගැනීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් සීමා කිරීම, ඇමතුම් ලැබීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් ලැබීම සීමා කිරීම, ආදිය මෙමගින් කළ හැක. විවිධ අවස්ථා වල දී එවන් සීමා කිරීම් පනවා ඇති විට එම සීමා කර ඇති පහසුකම් භාවිතා කිරීමට විශේෂ කේත අංක මුලින් ඇතුළු කළ යුතුවේ.

IMEI
IMEI (International Mobile Equipment Identity) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන හඳුනා ගැනීමට භාවිතා වන ඉලක්කම් 15 කින් යුත් විශේෂ හඳුනාගැනීමේ අංකයකි. එය දුරකථනයක අනුක්‍රමාංකයට (serial number) යම් අයුරින් සමානාත්වයක් දක්වයි. IMEI අංකය සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක ඇතුළත බැටරියට යටින් සුදු ස්ටිකරයක දක්වා ඇත. දුරකථනය මුලින් මිලට ගන්නා අවස්ථාවේ එය අඩංගුවූ පෙට්ටියේද මෙම අංකය දක්වා ඇත. දුරකථන යතුරු පුවරුව මත *#06# ඇතුළු කිරීමෙන් මෙම අංකය තිරය මත දැක්වේ.
නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගැනීම සඳහා IMEI විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ජංගම දුරකථන ජාලයකට මෙම IMEI අංකය භාවිතා කර, සොරකම් කළ හෝ නැතිවූ දුරකථනයක් දුරකථන ජාලය තුල භාවිතා කිරීම වැළැක්විය හැක. එවන් අවස්ථාවල එම දුරකථනය වෙනස් SIM කාඩ් පතක් භාවිතයෙන් වුවද ක්‍රියා කරවිය නොහැක. IMEI අංකය ජංගම දුරකථනයකට විශේෂයෙන් වැදගත්වන ආරක්‍ෂිත අංගයක් වන අතර එය දුරකථනය හා ඒ ආශ්‍රිත ඇමතුම් හඳුනාගැනීමට (විවිධ SIM කාඩ් භාවිතා කළද) උපකාරවේ.





පෙර ගෙවූ (pre paid) හා පසු ගෙවූ (post paid) ජංගම දුරකථන සම්බන්ධතා
පෙර ගෙවූ ජංගම දුරකථන සම්බන්ධතාවයක දුර ඇමතුම් සඳහා ගෙවීම් මුලින් යම් අගයකට කළ යුතුය. එම ගෙවූ ප්‍රමාණයේ අගයට අනුව දුර ඇමතුම් ලබා ගත හැක. පෙර ගෙවූ සම්බන්ධතාවයක් සඳහා මාසික බිල් පතක් නිකුත් නොකෙරේ. තවද සාමාන්‍ය ‍යෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික මුදලක් ද අය නොකෙරේ. පෙර ගෙවීම් ක්‍රම කිහිපයකට කළ හැක. එවන් ගෙවීම රීචාජ් කිරීම, ටොප් අප් කිරීම වශයෙන්ද හැඳින්වේ. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර අන්තර් ජාලය හරහා, දුරකථනය මගින්, SMS මගින් හෝ ඒජන්ත වෙළඳ සැලකට මුදල් ගෙවීමෙන් පෙරගෙවීම් කළ හැක. පෙ‍ර ගෙවූ සම්බන්ධතාවලදී එම ගෙවූ මුදල භාවිතා කිරීමට නියමිත කාලයක් ඇති අතර එම කාලය ඉක්මවීමට පෙර ගෙවූ මුදල සඳහා දුරඇමතුම් ලබා ගත යුතුය. පෙර ගෙවුම් සම්බන්ධතාවලදී යම් පහසුකම් සීමා කර ලබා දීමට ඉඩ ඇත. ජංගම දුරඇමතුම් අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් අතර පෙර ගෙවුම් සම්බන්ධතා ක්‍රමය ඉතා ජනප්‍රිය වී ඇත.

පසු ගෙවුම් සම්බන්ධතා සඳහා මාසික බිල් පතක් සැපයෙන අතර දුරඇමතුම් සඳහා කලින් ගෙවීමක් කළ යුතු නැත. මෙහිදී සාමාන්‍යයෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික ගෙවීමක් ද අඩංගුවේ.

112 හදිසි ඇමතුම් අංකය
112 අංකය GSM  හා 3G ජංගම දුරකථන සඳහා ලොව පුරා භාවිතා වන හදිසි ඇමතුම් අංකයයි. දුරකථනයක SIM කාඩ් පතක් නොමැති අවස්ථාවක, දුරකථනය බාධිත තත්වයේ (locked) ඇතිවිට, පෙර‍ ගෙවූ (prepaid) සම්බන්ධතාවයක මුදල් (credit) නොමැති වූ විට පවා බොහෝ අවස්ථාවලදී මෙම අංකය මගින් හදිසි ඇමතුම් ලබාගත හැක. ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය ඇති ස්ථානයක සිට මෙම අංකය මගින් ගිලන් රථ සේවා, ගිනි නිවන සේවා වැනි හදිසි ආපදා සේවාවකට හෝ ලඟම ඇති පොලීසියට සම්බන්ධ විය හැක. මෙම අංකය භාවිතා කර ලබා ගන්නා ඇමතුම් අධීක්‍ෂණය කරන අතර මෙම පහසුකම අයථා හෝ අනවශ්‍ය පරිදි භාවිතා කිරීම නීති ‍විරෝධී වන අතර දඬුවමක‍ට හෝ දඩයකට යටත් විය හැකි වරදකි.

රෝමිං (Roaming)
‍රෝමිං යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථනයක් එය අයිති ජංගම දුරකථන ජාලයට පිට වෙනත් ජංගම දුරකථන ජාලයක් (සාමාන්‍යයෙන් විදේශ රටකදී) හරහා සම්බන්ධතාව පවත්වා ගැනීමයි. රෝමිං මගින් විදේශ රටකදී පවා දුරඇමතුම් හා SMS යැවීමට හා ලබාගැනීමට තම මුල් දුරකථන අංකය භාවිතා කළ හැක.
බොහෝ රටවල ජංගම දුරකථන ජාලවලදී රෝමිං පහසුකම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පි‍ටතින් පැමිණෙන ජංගම දුරකථන, එම රටේ ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. සමහර ජංගම දුරකථන ජාල වලට අයත් ජංගම දුරකථන සඳහා රෝමිං පහසුකම සක්‍රිය කිරීමට කලින් ගෙවීමක් හෝ විශේෂ දැනුම් දීමක් කළ යුතුය. රෝමිං සේවාව ක්‍රියාත්මක වීමට තම දුරකථනය අයත් ජංගම දුරකථන සමාගම විදේශ රටේ ජංගම දුරකථන සමාගම සමග ‍රෝමිං ගිවිසුමක් (roaming agreement) තිබිය යුතුය.

රෝමිං පහසුකම් ඇති දුරකථනයක් විදේශ රටකදී ක්‍රියාත්මක කළ විට ස්වයංක්‍රියව එම රටේ ඇති ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. මෙසේ ස්වංක්‍රිය‍ව සමබන්ධවීමට අමතරව තමන්ට අවශ්‍ය ජංගම දුරකථන ජාලය තෝරා එයට සම්න්ධතාවය ඇති කර ගැනීමටද හැකියාව ඇත. ‍රෝමිං සේවාව නිසි පරිදි ක්‍රියා කර වීමට ජංගම දුරකථනය එය භාවිතා කරන රටේ ජංගම දුරකථන ජාලයක භාවිතයට අනුකූල වර්ගයේ දුරකථනයක් විය යුතුය. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ GSM ජංගම දුරකථන ජාල 1900 MHz තරංග මාලාව භාවිතා කරන අතර එය අනෙකුත් රටවල GSM ජංගම දුරකථන ජාල භාවිතා කරන 900/1800 MHz තරංග මාලාවට වඩා වෙනස්වේ. එම රටේ දී රෝමිං සේවාව ලබා ගැනීමට 1900MHz තරංග මාලාවට අනුකූල දුරකථනයක් භාවිතා කළ යුතුවේ.
මෙයට අමතරව විදේශ ර‍ටේදී ලබාගත් ජංගම දුරකථනයක් සමග තම ‍රටේ මුලින් භාවිතා කළ SIM කාඩ් පත් භාවිතයෙන්ද රොමිං සේවාව ලබාගත හැක.
රෝමිං පහසුකම සහිත ජංගම දුරකථනයක් සමග ග්‍රාහකයකු විදේශගතවූ විට එම දුරකථන අංකය‍ට ලැබෙන ඇමතුම් විදේශ රටේදීත් එම දුරකථනයටම ලැබෙන පරිදි නැවත හරවා (routed) යැවේ. එවන් අවස්ථාවල ලැබෙන ඇමතුම් සඳහා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ‍රෝමිං සේවාව භාවිතා කරන ග්‍රාහකයා දැරිය යුතුවේ. මෙසේ තම මුල් ‍රටෙන් ලැබෙන ඇමතුම් වල‍ට ජාත්‍යන්තර දුරකථන ගාස්තු සඳහා අධික මුදලක් ගෙවීම වැළැක්වීමට අවශ්‍ය නම් ‍ජංගම දුරකථනයේ ජාත්‍යන්තර ලැබෙන ඇමතුම් බාධිත (barring international incoming calls) තත්වයට පත් කළ හැක.
තම රටේ ජංගම දුරකථන අංකයක් සහිත විදේශයක ඇති රෝමිං දුරකථනයකට ලබා ගන්නා ඇමතුමකට (ජංගම හෝ ස්ථාපිත දුරකථනයකින්) ඇමතුම ලබාගන්නා පුද්ගලයාට වැයවන්නේ දේශීය දුරකථන ගාස්තුව පමණි.  රෝමිං සේවා සඳහා අධික දුරකථන ගාස්තු සහිත බිල්පත් ලැබිය හැකි අතර එය වැළැක්වීමට අවශ්‍ය නම් SMS සඳහා පමණක් රෝමිං සේවා ක්‍රියාත්මක කළ හැක. මෙහිදී විදේශගත වන විටදී දුරඇමතුම් සඳහා නොමැතිව SMS සඳහා පමණක් රෝමිං සේවා සක්‍රිය කළ යුතුය.


ජංගම දුරකථන තරංගමාලා (Mobile Phone Bands)
ජංගම දුරකථන ජාල එක් එක් වර්ගයේ දුරකථන ජාල මත හා පවතින රට මත වෙනස් තරංගමාලාවල ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ, යුරෝපයේ හා අනෙකුත් රටවල GSM දුරකථන ජාල 900MHz තරංගමාලාවේ ක්‍රියාත්මක වේ. මෙයට අමතරව නාගරික ප්‍රදේශවල 1800MHz තරංගමාලාව ද GSM සඳහා භාවිතා වේ. ඇමරිකාවේ GSM දුරකථන ජාල 1900MHz තරංගමාලාවේ ක්‍රියා කරයි.
3G දුරකථන ජාල වැඩි වශයෙන්ම 2100MHz තරංගමාලාව භාවිතා කරයි. සමහර රටවල යම් දුරකථන ජාල(ඕස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍රා හා  ඇමරිකාවේ)  3G සඳහා 850MHz තරංගමාලාව භාවිතා කරයි. 900MHz තරංග මාලාවද සමහර රටවල 3G සඳහා භාවිතා කෙරේ.
තනි තරංගමාලා (single band) ජංගම දුරකථන එක් තරංගමාලාවකද, ද්විත්ව තරංගමාලා (dual band) දුරකථන තරංගමාලා දෙකකද, ත්‍රි-තරංගමාල (tri-band) දුරකථන තරංග මාලා 3 කද, සිව් තරංගමාලා (quad band) දුරකථන තරංග මාලා හතරකද ක්‍රියාකළ හැක. තරංගමාලා වැඩි ගණනක ක්‍රියාකරන දුරකථන විවිධ රටවල භාවිතා කිරීමේ හැකියාව වැඩිය.



                                                                                                         

ජංගම දුරකථන මාත (Mobile phone modes)
ජංගම දුරකථන වල මාතය (mode) මගින් භාවිතාකරන සම්ප්‍රේෂණ තාක්‍ෂණ මාතය දැක්වේ. එය GSM, AMPS,  D-AMPS, 3G, LTE ආදී තාක්‍ෂණවලින් එකක් විය හැක. බහු මාත (multi mode) වර්ගයේ දුරකථනයක එක් මාතයකට වඩා වැඩි ගණනකින් ක්‍රියා කළ හැක. සියළුම 3G ජංගම දුරකථන GSM මාතය ද භාවිතා කළ හැකි අතර 3G සංඥා ආවරණය නොමැති ප්‍රදේශ වල GSM සංඥා ආවරණය ඇත්නම් GSM මාතය භාවිතා කර ක්‍රියා කරයි. බොහෝ චන්ද්‍රිකා දුරකථන වලද GSM මාතය ඇති අතර GSM සංඥා නොමැති ප්‍රදේශ වල චන්ද්‍රිකා හරහා සංඥා භාවිතයෙන් ක්‍රියා කරයි. බහු මාත ජංගම දුරකථන විදේශ රටවල සංචාරයේදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. එයට හේතුව විවිධ රටවල ජංගම දුරකථන ජාලවල භාවිතා කිරීමට ඇති හැකියාව වැඩිවීමයි.

බ්ලූටූත් (Bluetooth)
බ්ලූටූත් තාක්‍ෂණය මගින් බ්ලූටූත් පහසුකම සහිත උපාංගයකට රැහැන් රහිත (wireless) සම්බන්ධතාවයක් මගින් තවත් ලඟ තිබෙන බ්ලූටූත් පහසුකම් ඇති උපකරණයකට සම්බන්ධ විය හැක. බ්ලූටූත් සහිත ජංගම දුරකථනයකට බ්ලූටූත් පහසුකම සහිත පරිගණකයකට රැහැන් රහිතව සම්බන්ධ වී දත්ත හුවමාරු කරගත හැක. බ්ලූටූත් හෙඩ්සෙට් එකක් භාවිතයෙන් ජංගම දුරකථනයක් කණට නොතබා නුදුරුන් තබා දුරඇමතුම් සඳහා භාවිතා කළ හැක. බ්ලූටූත් පිළිබඳ වැඩි විස්තර වෙනත් ලිපියකින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

MMS - බහුමාධ්‍ය සේවා
MMS (Multi Media Services) මගින් හඬ, රූප, වීඩියෝ සහිත පණිවිඩ ජංගම දුරකථන ජාලයක් හරහා යැවිය හැක. MMS පහසුකම සහිත ජංගම දුරකථනයකින් තවත් MMS පහසුකම සහිත දුරකථනයකට මෙසේ MMS පණිවිඩ යැවිය හැක.

වොයිස් මේල් (Voice Mail)
වොයිස් මේල් සේවාව මගින් ජංගම දුරකථන ග්‍රාහකයකුට තම දුරකථනය සංඥා ආවරණය නොමැති අවස්ථාවක හෝ ක්‍රියා විරහිත කර ඇති අවස්ථාවක වෙනත් අයකු තම අංකය ඇමතූ විට අවශ්‍ය නම් ඔවුන්ගෙන් කටහඬ සහිතව පණිවිඩ ලබාගැනීමට සැකසිය හැක. වොයිස් මේල් පහසුකම සක්‍රිය කර ඇති අවස්ථාවක එවන් දුරකථනයක් අමතන අයකුට එම දුරකථනය හා සම්බන්ධ විය නොහැකි නම් පණිවිඩයක් තම කට හඬින්ම ලබා දිය හැක. මෙම පණිවිඩය ජංගම දුරකථන ජාලයේ සර්වරයක් තුල ගබඩා වන අතර එය පසුව ඇමතුම ලැබිය යුතු පුද්ගලයාට ලබාගත හැක. වොයිස් මේල් පණිවිඩයක් ලැබී ඇති විට එය ලැබිය යුතු ග්‍රාහකයාට දුරකථනය ක්‍රියා කාරී තත්වයට පත්වූ විගස ඒ බව කෙටි පණිවිඩයක් මගින් දැනුම් දේ.   

Missed Call Alert
ජංගම දුරකථනයකට යොමුවූ ඇමතුම් එම දුරකථනය ක්‍රියා විරහිත කර ඇති අවස්ථාවල හෝ සංඥා ආවරණය නොමැති ප්‍රදේශයක සිටින විට නොලැබීමට ඉඩ ඇත. මෙම missed call alert පහසුකම මගින් දුරකථන ග්‍රාහකයකුට තමන්ට ලැබීමට බාධා වූ දුරකථන ඇමතුම් පිළිබඳ දැනුම් දේ. ජංගම දුරකථනය ක්‍රියාකාරි තත්වයට පත්වූ විගස කෙටි පණිවිඩයක් (SMS) මගින් එයට වෙනත් අයකු දුර ඇමතුමක් ලබාගැනීමට ගත් උත්සාහයේ විස්තර, එම දුරකථනයේ අංකය, දිනය, වේලාව, සහිතව මෙමගින් දැනුම් දේ.

Call Forward
මෙම පහසුකම මගින් දුරකථනයකට යොමුවන ඇමතුමක් වෙනත් දුරකථනයකට හරවා යැවිය හැක. ජංගම දුරකථනයකට මෙසේ යොමුවන ඇමතුම් කොන්දේසි එකක් හෝ කිහිපයක් මත හරවා යැවිය හැක. දුරකථනය ක්‍රියා විරහිත තත්වයේ ඇති අවස්ථාවක (switched off), දුරකථනය නාද වන විට ප්‍රතිචාර නොදැක්වූ අවස්ථාවක, වෙනත් දුරඇමතුමක යෙදී ඇති අවස්ථාවක (busy/engaged) හෝ කොන්දේසියක් නොමැතිව එනම් යොමුවන සියළු ඇමතුම් මෙසේ වෙනත් දුරකථනයකට හරවා යැවිය හැක. මෙසේ හරවා යැවෙන ඇමතුම් සඳහා දුරකථන ගාස්තු සාමාන්‍යයෙන් ජංගම දුරකථන ග්‍රාහකයා දැරිය යුතුය.

Call waiting
මෙම පහසුකම මගින් එක් දුර ඇමතුමක යෙදී ඇති අවස්ථාවක තවත් දුර ඇමතුමක් ලැබුනහොත් ඒ බව ග්‍රාහකයාට දැනුම් දේ. එවන් අවස්ථාවල පලමු දුර ඇමතුම මදකට නවතා (hold)  දෙවන දුර ඇමතුමට ප්‍රතිචාර දැක්විය හැක.

Wi-Fi
Wi-Fi පහසුකම සහිත ජංගම දුරකථන දැන් වැඩි වශයෙන් නිපදවෙන අතර එමගින් ජංගම දුරකථනයකට Wi-Fi ජාලයකට සම්බන්ධ විය හැක. මෙ මගින් නිවසක්, කාර්යාලයක් හෝ Wi-Fi ජාලයක් ඇති ස්ථානයක සිට එම ජාලයට සම්බන්ධ වී අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ලබාගත හැක.


කැමරා/වීඩියෝ කැමරා/හඬ පටිගත කිරීම/MP3 player
බොහෝ නවීන ජංගම දුරකථන වල කැමරා, වීඩියෝ කැමරා, හඬ පටිගත කිරීම, MP3 හා වෙනත් හඬ වාදනය කිරීමේ පහසුකම් වලින් යුක්ත වේ.

වීඩියෝ ඇමතුම් (Video Calling)
වීඩියෝ ඇමතුම් පහසුකම මගින් 3G දුරකථන සහිත ග්‍රාහකයන් දෙදෙනෙකුට 3G සංඥා ආවරණය සහිත ප්‍රදේශවල සිට දුරඇමතුම සමග තම රූපය ද දර්ශනය කර ගැනීමේ හැකියාව ලැබේ.

ස්පීකරෆෝන් (speakerphone)
 සපීකර්ෆෝන් දුරඇමතුමකදී හඬ වැඩි ශබ්දයකින් ඇසීමේ හැකියාව ලැබේ. මෙමගින් දුරකථනය කණට නොතබා ඇමතුමට එක් අයකුට වැඩි ගණනකට සවන්දීමේ හා සහභාගී වීමේ හැකියාව ලැබේ.

GPS
GPS පහසුකම සහිත දුරකථන මගින් තමන් සිටින ස්ථානය පිළිබඳ විස්තර දැනගැනීමේ හැකියාව ලැබේ. ජංගම දුරකථනවල ඇති A-GPS (Assisted GPS) පහසුකම මගින් මෙසේ සිටින ස්ථානය ගණනය කිරීමට GPS චන්ද්‍රිකා සංඥා සමග දුරකථන ජාලයේ සංඥා ද උපකාරී කර ගැනේ. සිතියම් සහිත මෘදුකාංග, දුරකථනයට ඇතුළත් කර ඇති විට මෙම පහසුකම මගින් යා යුතු ස්ථානයකට අවශ්‍ය මාර්ගය පවා විස්තර සහිතව ලබාගත හැක. A-GPS පහසුකම භාවිතා කිරීමේ දී ජංගම දුරකථන ජාලය හරහා දත්ත හුවමාරු වන අතර එම දත්ත සඳහා ගාස්තු ඇතුළත් විය හැක.

අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් (Internet access)
GPRS/EDGE/HSPA/LTE පහසුකම් වලින් එකක් හෝ ඇති ජංගම දුරකථනයක් මගින් එම දුරකථනයට අන්තර්ජාලපහසුකම් ලබාගත හැක. මෙමගින් දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සීමේ (browse) හැකියාව ලැබේ. මෙයට අමතරව ජංගම දුරකථනය මෝඩමයක් ලෙස භාවිතා කර පරිගණකයකට ද අන්තර් ජාල පහසුකම ලබාගත හැකි වන අතර මෙය tethering නමින් හැඳින්වේ.

Tethering
ජංගම දුරකථනය මෝඩමයක් ලෙස භාවිතයෙන් පරිගණකයක් මගින් අන්තර්ජාල ප්‍රවේශය ලබාගැනීම tethering යනුවෙන් හැඳින්වේ. මෙහිදී ජංගම දුරකථනය මගින් ජංගම දුරකථන ජාලය හරහා GPRS/EDGE/HSPA/LTE මගින් දත්ත සන්නිවේදන සම්බන්ධතාවයක්  ඇතිකරගන්නා අතර පරිගණකය ජංගම දුරකථනය සමග කේබලයකින් හෝ බ්ලූටූත් මගින් සම්බන්ධ කළ හැක.

Caller ID
Caller ID, CLI (Calling Line Identification) වශයෙන් හැඳින්වෙන මෙම පහසුකම මගින් ලැබෙන ඇමතුමකදී එම ඇමතුම ආරම්භ කළ දුරකථනයේ අංකය ජංගම දුරකථනයේ තිරය මත දිස් වේ. එම අංකයට අදාල නම දුරකථනයේ කලින් ගබඩාකර තිබූ අවස්ථාවක ඇමතුම ආරම්භ කළ අයගේ නම ද දිස්වේ.

Mobile Hotspot
Mobile Hotspot යනුවෙන් දැක්වෙන්නේ tethering වලදී මෙන් ජංගම දුරකථනය GPRS/EDGE/HSPA/LTE මගින් දත්ත සන්නිවේදන සම්බන්ධයක් ඇති කර ජංගම දුරකථනයේ ඇති වයිෆයි සම්ප්‍රේෂණය කිරීමේ පහසුකම මගින් ආසන්නයේ ඇති පරිගණක එකක් හෝ වැඩි ගණනකට එම ජංගම දුරකථනය හා වයිෆයි ඔස්සේ සම්බන්ධවීමට හැකියාව ලබා දීමයි. එසේ සම්බන්ධවන පරිගණක වලට ජංගම දුරකථනයේ GPRS/EDGE/HSPA/LTE දත්ත සන්නිවේදන සම්බන්ධතාව හරහා අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැක.

Memory/flash/SD Cards
බොහෝ නවීන ජංගම දුරකථනවල විවිධ ධාරිතාවලින් යුත් මතක පත් (memory/flash/SD cards) ඇතුළු කිරීමෙන් එහි දත්ත වශයෙන් ඡායාරූප, ලිපි ලේඛන, mp3, ගීත හා වීඩියෝ, ආදිය ගබඩා කළ හැක.

FM රේඩියෝ
FM රේඩියෝ පහසුකම ඇති ජංගම දුරකථන මගින් FM රේඩියෝ චැනල ග්‍රහණය කර ශ්‍රවණය කළ හැක. මෙසේ රේඩියෝ ශ්‍රවණයට හෙඩ්සෙට්/මයික් කේබලය සම්බන්ධ කිරීමට අවශ්‍ය විය හැක. හෙඩ්සෙට්/මයික් කේබලය මෙහිදී ඇන්ටෙනාවක් වශයෙන් ක්‍රියා කරයි.

FM සම්ප්‍රේෂණය (FM Transmitter)
FM සම්ප්‍රේෂණ පහසුකම් ඇති ජංගම දුරකථනවල එහි වාදනය කරන හඬ FM සම්ප්‍රේෂණය ඔස්සේ වාහනයක හෝ ආසන්නයේ ඇති වෙනත් FM රේඩියෝ යන්ත්‍රයකින් ශ්‍රවණය කිරීමට සැළැස්විය හැක.





HD (High Definition) Voice
HD Voice පහසුකම මගින් ඉතා පැහැදිලි කටහඬ සහිතව දුරඇමතුම් ලබාගත හැක. මෙහිදී පසුබිමේ ඝෝෂා ආදිය යටපත් කෙරේ. Wide Band Adaptive Multi-Rate (WB-AMR) කේතීකරණය ක්‍රමය මගින් වඩාත් පුළුල් ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසයක් භාවිතයෙන් කටහඬ තීව්‍ර ලෙස ශ්‍රවණය කළ හැක. මෙම පහසුකම භාවිතා කිරීමට ජංගම දුරකථන ජාලය HD Voice පහුසකම ලබාදිය යුතු අතර ඇමතුම ලබාගන්නා හා ලැබෙන ජංගම දුරකථන දෙකම HD Voice පහසුකමෙන් යුක්ත විය යුතුය.

NFC (Near Field Communication)
NFC යනුවෙන් දැක්වෙන්නේ සන්නිවේදන උපකරණ දෙකක් එකිනෙක ස්පර්ශ කිරීමෙන් හෝ එක ලඟට (10cm හෝ එයට අඩු දුරකට) ගෙන ඒමෙන් එම උපකරණ දෙක අතර රේඩියෝ සන්නිවේදන සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ ක්‍රමයකි. මෙම පහසුකම ඇති ජංගම දුරකථන අතර දත්ත හා වෙනත් අන්තර්ගත දේ හුවමාරු කරගත හැක. මෙම පහසුකම ඇති ජංගම දුරකථන මගින් NFC පහසුකම ඇති ගෙවීමේ ටර්මිනල් (payment terminal) ඇති අවස්ථාවල නොයෙකුත් ගෙවීම් ද කිරීමට හැකියාව ඇත. බස් හා දුම්රිය ටිකට් පත් සඳහා ගෙවීම්, චිත්‍රපට නැරඹීම සඳහා ගෙවීම් කිරීම මෙසේ කළ හැක.

PTT (Push to Talk)
Push to Talk (PTT) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන ග්‍රාහකයකුට ජංගම දුරකථන ජාලය හරහා තවත් ජංගම දුරකථන එකක් හෝ වැඩි ගණනක් ඇති කණ්ඩායමක් ඇමතිය හැකි ක්‍රමවේදයකි.  මෙසේ ඇමතීම ජංගම දුරකථනයේ PTT බොත්තම එබීමෙන් කළ හැකි අතර මෙය වෝකි ටෝකි වර්ගයේ සන්නිවේදන යන්ත්‍රවලින් කරන සන්නිවේදනයට සමාන වේ. එක් අයකු මෙසේ PTT බොත්තම එබීමෙන් ඇමතූ විට එම කණ්ඩායමේ සෑම දුරකථනයකම ස්පීකරයෙන් එම ඇමතුම ශ්‍රවණය වේ. මෙම ක්‍රමය භාවිතා කරීමට එම දුරකථන වල PTT පහසුකම තිබිය යුතු අතර ජංගම දුරකථන ජාලයද මෙම පහසුකම ලබා දිය යුතුය. මෙයට අමතරව මෙම පහසුකමට ජංගම දුරකථන ජාලයෙන් දායකත්වය ලබා සිටිය යුතුය.
සාමාන්‍ය දුරකථන ඇමතුමකදී ඇමතුම නිමාවනතෙක්ම දුරකථන දෙක අතර සන්නිවේදන සම්බන්ධතාව නොකඩවා පැවැත්වේ. මෙහිදී සන්නිවේදනය ද්විපථ (duplex) ආකාරයට සිදුවන අතර පාර්ශව දෙකටම එකවර එකිනෙකා සමග කථාකළ හැක. PTT භාවිතයේදී එක් අයකුට පමණක් තම කණ්ඩායමට එක් අවස්ථාවක PTT බොත්තම එබීමෙන් කථා කළ හැකි අතර සන්නිවේදන සම්බන්ධකම සක්‍රියව පවතින්නේ PTT බොත්තම ඔබාගන සිටින තුරු පමණි. මෙහි එක් කණ්ඩායමක් දෙදෙනෙකුගෙන් හෝ වැඩි ගණනකින් සමන්විත විය හැකි අතර එම කණ්ඩායමක සාමාජිකයන් කලින් නිර්දේශ කර තිබිය යුතුය.  මෙම පහසුකම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ව්‍යාපාරක කටයුතු වලදී වන අතර එක් අයකුට තම කණ්ඩායම ඇමතීමට අවශ්‍ය වූ අවස්ථාවක දුර ඇමතුම් වලින් තොරව සුළු කාලයකදී පණිවිඩ යැවීමට හැකියාව ලැබේ.
(මෙම සේවාවට සමාන ට්‍රන්ක්ඩ් රේඩියෝ නම් වෙනත් සේවාවක් ද පවතින අතර ඒ පිළිබඳ විස්තර වෙනත් ලිපියකින් ගෙන් ඒමට බලාපොරොත්තු වෙමු.)



සපන් දුරකථන (smart phones)
නවීන ජංගම දුරකථන බොහොමයක් ස්මාර්ට් ෆෝන් ගනයට අයත්වේ. මෙම ජංගම දුරකථන ජංගම මෙහෙයුම් පද්ධති වන අතර ඇපල් iOS (Apple iOS), ඇන්ඩ්‍රොයිඩ් (Android), වින්ඩෝස් ෆෝන් (Windows Phone), සිම්බියන් (Symbian) හෝ බ්ලැක්බෙරි (BlackBerry) වලින් එකකට අයත් වේ. මෙම දුරකථනවල Wi-Fi, GPS, ජංගම දුකථන දත්ත සේවා පහසුකම්, ස්පර්ශ තිර (touch screen) ආදී පහසුකම් වලින් යුක්ත වේ. මෙම දුරකථන වල බාගත කළ යෙදුම් (applications) ස්ථාපනය කළ හැක. වෙනත් පාර්ශව විසින් සකසන ලද මෙවැනි යෙදුම් සිය ගණනක් මගින් ජංගම දුරකථනයට අමතර කාර්යයන් කිරීමේ හැකියාව ලබාගත හැක. මෙවන් යෙදුම් අතර කාලගුණ දත්ත, සංගීතමය යෙදුම්, මං සෙවීම ආශ්‍රිත යෙදුම් (navigational aids) , ක්‍රීඩා, ගමනාගමනය ආශ්‍රිත යෙදුම් සහ තවත් නොයෙකුත් වර්ග ඇතුළත් වේ. මෙම යෙදුම් වලින් බොහොමයක් නොමිලේද, තවත් සමහරක් මිළදී ගැනීමට හැක.

                                                        © කුසල් ඈපා





2 comments: