Monday, December 29, 2014

ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය (Amateur Radio Communication)

යාවත් කාලීන කරන ලද බ්ලොග් සටහනට ‍‍පහත සඳහන් ලින්ක් එක මගින් පිවිසිය හැක.

Updated blog post   - 30/12/2021

https://sannivedana.blogspot.com/2021/12/amateur-radio-communication.html

Sunday, October 5, 2014

ජංගම දුරකථනවල ඇති විශේෂාංග හා පහසුකම්



ජංගම දුරකථනවල ග්‍රාහකයන්ට විශේෂයෙන් ප්‍ර‍යෝජනවත් වන ‍විශේෂංග හා පහසුකම් බොහොමයක් ඇත. එයින් බහුලව භාවිතා වන කිහිපයක් මෙහි විස්තර කර ඇත.




SIM කාඩ් පත
SIM  කාඩ් ජංගම දුරකථන වල ප්‍රථමයෙන් භාවිතයට ගැනුනේ  GSM ජංගම දුරකථන ජාලවල දී ය . SIM යනුවෙන් දැක්වෙන්නේ Subscriber Identity Module හෙවත් ග්‍රාහක අනන්‍යතා මොඩියුලය යි. SIM කාඩ් පත කුඩා සෘජුකණාස්‍රාකාර හැඩයකින් යුක්තය. බොහෝ ඩිජිටල් ජංගම දුරකථන ක්‍රියා කිරීමට ඒ තුලට SIM කාඩ් පතක් ඇතුළු කළ යුතුය. එය බොහෝ අවස්ථාවල බැටරියට යටින් ඇතුළු කළ යුතුය. SIM කාඩ් පත තුල පුද්ගල අනන්‍යතා විස්තර, ජංගම දුරකථන ජාලය හා දුරකථන අංකය සම්බන්ධ විස්තර ඇතුළත්ව ඇති අතර, දුරකථන අංක නාමාවලි විස්තර, SMS පණිවිඩ ආදිය ගබඩා කිරීමට ද භාවිතා කෙරේ. ජංගම දුරකථන අංකය SIM කාඩ් පතට අනුයුක්ත වන අතර SIM කාඩ් පත වෙනත් දුරකථනයකට ඇතුලත් කළ විට එම දුරකථනය SIM කඩ්පත හා අනුයුක්ත දුරකථන අංකයට අනුව ක්‍රියා කෙරේ. 3G UMTS ජංගම දුරකථන ජාල වල භාවිතා වන SIM කාඩ් පත් USIM කාඩ්පත් වශයෙන් හැඳින්වේ. සමහර නවීන දුරකථනවල මයික්‍රෝ හෝ නැනෝ සිම් (Micro/Nano SIM) වශයෙන් හැඳින්වෙන් කුඩා ප්‍රමාණයේ SIM කාඩ් පත් භාවිතා වේ.
Dual SIM වර්ගයේ ජංගම දුරකථන වලට SIM කාඩ්පත් දෙකක් ඇතුළු කළ හැකි අතර එවන් දුරකථනවලට දුරකථන අංක දෙකකට අනුකූලව ක්‍රියා කළ හැක.
විදේශ රටවල සංචාරය කරන අවස්ථාවල එම රටවල පෙර ගෙවූ (prepaid) SIM කාඩ්පතක් මගින් එම රටට අදාළ දේශීය දුරකථන අංකයක් ලබා ගත හැක. මේ සඳහා රැගෙන යන ජංගම දුරකථනය එම රටට අදාල ජංගම දුරකථන ජාලවලට අනුකූල සංඛ්‍යාත පරාසයක ක්‍රියාකළ යුතු වේ. තවද ජංගම දුරකථනය SIM Lock හෝ Network Lock මගින් භාවිතය සීමා කර නොතිබිය යුතුය. විකල්පයක් වශයෙන් රෝමිං (roaming) සේවා භාවිතයෙන් තම මුල් දුරකථන අංකයද විදේශ රටකදී භාවිතා කළ හැක.
                                                                    
                       



SIM Backup
SIM කාඩ් පතක ගබඩා කර ඇති තොරතුරු (දුරකථන අංක නාමාවලි, SMS පණිවිඩ ආදිය) SIM backup කිරීම මගින් පරිගණකයකට සුරැකිව යවා ගබඩා කළ හැක. මේ සඳහා ජංගම දුරකථනය පරිගණකයකට සම්බන්ධ කළ යුතු අතර සුදුසු මෘදුකාංග භාවිතා කළ යුතුය.

ජංගම දුරකථන ආරක්‍ෂිත කේත

SIM /Network Lock
ජංගම දුරකථන සමාගම් සමහර අවස්ථාවලදී, විශේෂයෙන් දුරකථනය සහන මිලට ලබාදෙන අවස්ථාවල දුරකථනය SIM Lock  හෝ Network Lock කිරීම මගින් එම දුරකථනය වෙනත් SIM කාඩ් පත් සමග භාවිතා කිරීම වැලැක්වීමට ක්‍රියා කරයි.  SIM Lock කිරීම මගින් එක් SIM කාඩ්පතකට පමණක් දුරකථනය භාවිතය සීමා කිරීම සිදුවේ. Network Lock මගින් දුරකථනය එක් ජංගම දුරකථන ජාලයකට අයත් SIM කාඩ් පත් සමග පමණක් හාවිතා කිරීමට ඉඩ ලබා‍දේ.
SIM  හෝ Network Lock කර ඇති දුරකථන unlock කිරීම දුරකථනයේ යතුරු පුවරුව මගින් විශේෂ කේත අංක (unlock codes)  ඇතුළු කිරීම මගින් කළ හැක. එම කේත අංක සාමාන්‍යෙයන් දුරකථනය lock කළ ජංගම දුරකථන සමාගමෙන් ලබා ගත හැක.

Security/Lock Code
බොහෝ දුරකථන අනවසර භාවිතයෙන් වැළැක්වීමට  විශේෂ ආරක්‍ෂිත කේත ඇතුළු කිරීමේ හැකියාවෙන් යුක්තය. මෙම ආරක්‍ෂිත කේත සාමාන්‍යයෙන් ඉලක්කම් 5 කින් යුක්ත වේ. Nokia වර්ගයේ දුරකථන ඇතුළු බොහෝ දුරකථනවල මෙම ආරක්‍ෂිත කේත අංකය මුලින් 12345 අංකයට පිහිටුවා ඇත. මෙය තමන්ට අවශ්‍ය අංකයකට වෙනස් කරගත හැක. මෙම පහසුකම සක්‍රීය කළ ඇති අවස්ථාවල දුරකථනය භාවිතයට පෙර එම ආරක්‍ෂිත කේත අංකය ඇතුළු කළ යුතුය. මෙමගින් අනවසර භාවිතය වැළකේ. මෙම ආරක්‍ෂිත කේත (Security/Lock Code) දුරකථනය ආරක්‍ෂා කිරීමට යොදා ගැනෙන අතර SIM කාඩ්පත ආරක්‍ෂා කර ගැනීමට PIN Codes යනුවෙන් වෙනත් කේත අංක භාවිතා කෙරේ.

පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN – Personal Identification Code)
PIN නමින් හැඳින්වෙන අංකය SIM කාඩ් පත් වල ඇති විශේෂාංගයකි. මෙම අංකය සහිත පහසුකම සක්‍රීය කර ඇති විට සෑම අවස්ථාවකම ජංගම දුරකථන යතුරු පුවරුව භාවිතා කිරීමට පෙර මෙම අංකය ඇතුළු කළ යුතුය. පිටපිටම තුන්වරක් වැරදි PIN අංක ඇතුළු කළහොත් SIM කාඩ්පත බාධිත (blocked) තත්වයට පත්වේ. ‍බොහෝ SIM කාඩ්පත්වල මෙම PIN අංකය 0000 වශයෙන් මුලින් සකසා ඇති අතර එය තමන්ට කැමති ඕනෑම ඉලක්කම් 4ක අංකයකට වෙනස් කරගත හැක.

PUK (Personal Unblocking Key)
වැරදි PIN අංකය පිටපිටම තුන්වරක් ඇතුළු කර SIM කඩ්පත බාධිත තත්වයට පත්වී ඇති විට එය නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට (unblock) මෙම PUK අංකය ඇතුළු කළ යුතුවේ. එය ඉලක්කම් 4-8 අතර ඇති අංකයක් වන අතර සාමාන්‍යයෙන් SIM කාඩ් පත සමග එම අංකය ලබාදේ. බාධිත SIM කාඩ් පතක් unblock කිරීමට වැරදි PUK අංකයක් 10 වරක් ඇතුළු කළ හොත් එම SIM කාඩ්පත නැවත භාවිතයට ගතනොහැකි වන පරිදි අක්‍රිය තත්වයට පත්වේ. PUK අංකය SIM කාඩ්පත සමග සපයා නොමැති අවස්ථාවක එය SIM කාඩ් පත විකිණූ ජංගම දුරකථන සමාගමෙන් හෝ එහි ඒජන්ත වරයාගෙන් ලබාගත හැක.    

PIN2/PUK2
ජංගම දුරකථන ජාල ආශ්‍රිත සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට PIN2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ. මෙම අංකය SIM කාඩ් පත සමග යම් අවස්ථාවල සැපයේ. මෙමගින් වැඩි ආරක්‍ෂක පියවරක් SIM කාඩ් පතට ලැබේ. PIN2 අංකය වැරදි ලෙස ඇතුළු කර SIM කාඩ් පත බාධිත තත්වයට පත්වුවහොත් එය නැවත යථා තත්වයට පත් කිරීමට PUK2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ.

Barring Password
ජංගම දුරකථන වල ඇති පහසුකම් සීමා කිරීමට barring password භාවිතා කෙරේ. දුර ඇමතුම් ලබාගැනීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් සීමා කිරීම, ඇමතුම් ලැබීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් ලැබීම සීමා කිරීම, ආදිය මෙමගින් කළ හැක. විවිධ අවස්ථා වල දී එවන් සීමා කිරීම් පනවා ඇති විට එම සීමා කර ඇති පහසුකම් භාවිතා කිරීමට විශේෂ කේත අංක මුලින් ඇතුළු කළ යුතුවේ.

IMEI
IMEI (International Mobile Equipment Identity) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන හඳුනා ගැනීමට භාවිතා වන ඉලක්කම් 15 කින් යුත් විශේෂ හඳුනාගැනීමේ අංකයකි. එය දුරකථනයක අනුක්‍රමාංකයට (serial number) යම් අයුරින් සමානාත්වයක් දක්වයි. IMEI අංකය සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක ඇතුළත බැටරියට යටින් සුදු ස්ටිකරයක දක්වා ඇත. දුරකථනය මුලින් මිලට ගන්නා අවස්ථාවේ එය අඩංගුවූ පෙට්ටියේද මෙම අංකය දක්වා ඇත. දුරකථන යතුරු පුවරුව මත *#06# ඇතුළු කිරීමෙන් මෙම අංකය තිරය මත දැක්වේ.
නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගැනීම සඳහා IMEI විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ජංගම දුරකථන ජාලයකට මෙම IMEI අංකය භාවිතා කර, සොරකම් කළ හෝ නැතිවූ දුරකථනයක් දුරකථන ජාලය තුල භාවිතා කිරීම වැළැක්විය හැක. එවන් අවස්ථාවල එම දුරකථනය වෙනස් SIM කාඩ් පතක් භාවිතයෙන් වුවද ක්‍රියා කරවිය නොහැක. IMEI අංකය ජංගම දුරකථනයකට විශේෂයෙන් වැදගත්වන ආරක්‍ෂිත අංගයක් වන අතර එය දුරකථනය හා ඒ ආශ්‍රිත ඇමතුම් හඳුනාගැනීමට (විවිධ SIM කාඩ් භාවිතා කළද) උපකාරවේ.





පෙර ගෙවූ (pre paid) හා පසු ගෙවූ (post paid) ජංගම දුරකථන සම්බන්ධතා
පෙර ගෙවූ ජංගම දුරකථන සම්බන්ධතාවයක දුර ඇමතුම් සඳහා ගෙවීම් මුලින් යම් අගයකට කළ යුතුය. එම ගෙවූ ප්‍රමාණයේ අගයට අනුව දුර ඇමතුම් ලබා ගත හැක. පෙර ගෙවූ සම්බන්ධතාවයක් සඳහා මාසික බිල් පතක් නිකුත් නොකෙරේ. තවද සාමාන්‍ය ‍යෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික මුදලක් ද අය නොකෙරේ. පෙර ගෙවීම් ක්‍රම කිහිපයකට කළ හැක. එවන් ගෙවීම රීචාජ් කිරීම, ටොප් අප් කිරීම වශයෙන්ද හැඳින්වේ. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර අන්තර් ජාලය හරහා, දුරකථනය මගින්, SMS මගින් හෝ ඒජන්ත වෙළඳ සැලකට මුදල් ගෙවීමෙන් පෙරගෙවීම් කළ හැක. පෙ‍ර ගෙවූ සම්බන්ධතාවලදී එම ගෙවූ මුදල භාවිතා කිරීමට නියමිත කාලයක් ඇති අතර එම කාලය ඉක්මවීමට පෙර ගෙවූ මුදල සඳහා දුරඇමතුම් ලබා ගත යුතුය. පෙර ගෙවුම් සම්බන්ධතාවලදී යම් පහසුකම් සීමා කර ලබා දීමට ඉඩ ඇත. ජංගම දුරඇමතුම් අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් අතර පෙර ගෙවුම් සම්බන්ධතා ක්‍රමය ඉතා ජනප්‍රිය වී ඇත.

පසු ගෙවුම් සම්බන්ධතා සඳහා මාසික බිල් පතක් සැපයෙන අතර දුරඇමතුම් සඳහා කලින් ගෙවීමක් කළ යුතු නැත. මෙහිදී සාමාන්‍යයෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික ගෙවීමක් ද අඩංගුවේ.

112 හදිසි ඇමතුම් අංකය
112 අංකය GSM  හා 3G ජංගම දුරකථන සඳහා ලොව පුරා භාවිතා වන හදිසි ඇමතුම් අංකයයි. දුරකථනයක SIM කාඩ් පතක් නොමැති අවස්ථාවක, දුරකථනය බාධිත තත්වයේ (locked) ඇතිවිට, පෙර‍ ගෙවූ (prepaid) සම්බන්ධතාවයක මුදල් (credit) නොමැති වූ විට පවා බොහෝ අවස්ථාවලදී මෙම අංකය මගින් හදිසි ඇමතුම් ලබාගත හැක. ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය ඇති ස්ථානයක සිට මෙම අංකය මගින් ගිලන් රථ සේවා, ගිනි නිවන සේවා වැනි හදිසි ආපදා සේවාවකට හෝ ලඟම ඇති පොලීසියට සම්බන්ධ විය හැක. මෙම අංකය භාවිතා කර ලබා ගන්නා ඇමතුම් අධීක්‍ෂණය කරන අතර මෙම පහසුකම අයථා හෝ අනවශ්‍ය පරිදි භාවිතා කිරීම නීති ‍විරෝධී වන අතර දඬුවමක‍ට හෝ දඩයකට යටත් විය හැකි වරදකි.

රෝමිං (Roaming)
‍රෝමිං යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථනයක් එය අයිති ජංගම දුරකථන ජාලයට පිට වෙනත් ජංගම දුරකථන ජාලයක් (සාමාන්‍යයෙන් විදේශ රටකදී) හරහා සම්බන්ධතාව පවත්වා ගැනීමයි. රෝමිං මගින් විදේශ රටකදී පවා දුරඇමතුම් හා SMS යැවීමට හා ලබාගැනීමට තම මුල් දුරකථන අංකය භාවිතා කළ හැක.
බොහෝ රටවල ජංගම දුරකථන ජාලවලදී රෝමිං පහසුකම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පි‍ටතින් පැමිණෙන ජංගම දුරකථන, එම රටේ ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. සමහර ජංගම දුරකථන ජාල වලට අයත් ජංගම දුරකථන සඳහා රෝමිං පහසුකම සක්‍රිය කිරීමට කලින් ගෙවීමක් හෝ විශේෂ දැනුම් දීමක් කළ යුතුය. රෝමිං සේවාව ක්‍රියාත්මක වීමට තම දුරකථනය අයත් ජංගම දුරකථන සමාගම විදේශ රටේ ජංගම දුරකථන සමාගම සමග ‍රෝමිං ගිවිසුමක් (roaming agreement) තිබිය යුතුය.

රෝමිං පහසුකම් ඇති දුරකථනයක් විදේශ රටකදී ක්‍රියාත්මක කළ විට ස්වයංක්‍රියව එම රටේ ඇති ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. මෙසේ ස්වංක්‍රිය‍ව සමබන්ධවීමට අමතරව තමන්ට අවශ්‍ය ජංගම දුරකථන ජාලය තෝරා එයට සම්න්ධතාවය ඇති කර ගැනීමටද හැකියාව ඇත. ‍රෝමිං සේවාව නිසි පරිදි ක්‍රියා කර වීමට ජංගම දුරකථනය එය භාවිතා කරන රටේ ජංගම දුරකථන ජාලයක භාවිතයට අනුකූල වර්ගයේ දුරකථනයක් විය යුතුය. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ GSM ජංගම දුරකථන ජාල 1900 MHz තරංග මාලාව භාවිතා කරන අතර එය අනෙකුත් රටවල GSM ජංගම දුරකථන ජාල භාවිතා කරන 900/1800 MHz තරංග මාලාවට වඩා වෙනස්වේ. එම රටේ දී රෝමිං සේවාව ලබා ගැනීමට 1900MHz තරංග මාලාවට අනුකූල දුරකථනයක් භාවිතා කළ යුතුවේ.
මෙයට අමතරව විදේශ ර‍ටේදී ලබාගත් ජංගම දුරකථනයක් සමග තම ‍රටේ මුලින් භාවිතා කළ SIM කාඩ් පත් භාවිතයෙන්ද රොමිං සේවාව ලබාගත හැක.
රෝමිං පහසුකම සහිත ජංගම දුරකථනයක් සමග ග්‍රාහකයකු විදේශගතවූ විට එම දුරකථන අංකය‍ට ලැබෙන ඇමතුම් විදේශ රටේදීත් එම දුරකථනයටම ලැබෙන පරිදි නැවත හරවා (routed) යැවේ. එවන් අවස්ථාවල ලැබෙන ඇමතුම් සඳහා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ‍රෝමිං සේවාව භාවිතා කරන ග්‍රාහකයා දැරිය යුතුවේ. මෙසේ තම මුල් ‍රටෙන් ලැබෙන ඇමතුම් වල‍ට ජාත්‍යන්තර දුරකථන ගාස්තු සඳහා අධික මුදලක් ගෙවීම වැළැක්වීමට අවශ්‍ය නම් ‍ජංගම දුරකථනයේ ජාත්‍යන්තර ලැබෙන ඇමතුම් බාධිත (barring international incoming calls) තත්වයට පත් කළ හැක.
තම රටේ ජංගම දුරකථන අංකයක් සහිත විදේශයක ඇති රෝමිං දුරකථනයකට ලබා ගන්නා ඇමතුමකට (ජංගම හෝ ස්ථාපිත දුරකථනයකින්) ඇමතුම ලබාගන්නා පුද්ගලයාට වැයවන්නේ දේශීය දුරකථන ගාස්තුව පමණි.  රෝමිං සේවා සඳහා අධික දුරකථන ගාස්තු සහිත බිල්පත් ලැබිය හැකි අතර එය වැළැක්වීමට අවශ්‍ය නම් SMS සඳහා පමණක් රෝමිං සේවා ක්‍රියාත්මක කළ හැක. මෙහිදී විදේශගත වන විටදී දුරඇමතුම් සඳහා නොමැතිව SMS සඳහා පමණක් රෝමිං සේවා සක්‍රිය කළ යුතුය.


ජංගම දුරකථන තරංගමාලා (Mobile Phone Bands)
ජංගම දුරකථන ජාල එක් එක් වර්ගයේ දුරකථන ජාල මත හා පවතින රට මත වෙනස් තරංගමාලාවල ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ, යුරෝපයේ හා අනෙකුත් රටවල GSM දුරකථන ජාල 900MHz තරංගමාලාවේ ක්‍රියාත්මක වේ. මෙයට අමතරව නාගරික ප්‍රදේශවල 1800MHz තරංගමාලාව ද GSM සඳහා භාවිතා වේ. ඇමරිකාවේ GSM දුරකථන ජාල 1900MHz තරංගමාලාවේ ක්‍රියා කරයි.
3G දුරකථන ජාල වැඩි වශයෙන්ම 2100MHz තරංගමාලාව භාවිතා කරයි. සමහර රටවල යම් දුරකථන ජාල(ඕස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍රා හා  ඇමරිකාවේ)  3G සඳහා 850MHz තරංගමාලාව භාවිතා කරයි. 900MHz තරංග මාලාවද සමහර රටවල 3G සඳහා භාවිතා කෙරේ.
තනි තරංගමාලා (single band) ජංගම දුරකථන එක් තරංගමාලාවකද, ද්විත්ව තරංගමාලා (dual band) දුරකථන තරංගමාලා දෙකකද, ත්‍රි-තරංගමාල (tri-band) දුරකථන තරංග මාලා 3 කද, සිව් තරංගමාලා (quad band) දුරකථන තරංග මාලා හතරකද ක්‍රියාකළ හැක. තරංගමාලා වැඩි ගණනක ක්‍රියාකරන දුරකථන විවිධ රටවල භාවිතා කිරීමේ හැකියාව වැඩිය.



                                                                                                         

Thursday, July 24, 2014

ජංගම දුරකථන දත්ත සේවා

ජංගම දුරකථන ජාල මගින් දුර ඇමතුම් වලට අමතරව දත්ත සන්නිවේදන සේවා ද සැපයීමේ පහසුකම ඇත. කෙටි පණිවිඩ (SMS), බහු මාධ්‍ය පණිවිඩ සේවා (MMS – Multimedia Messaging Service), GPRS, EDGE, HSPA මගින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ආදිය මෙසේ ලබාගත හැකි දත්ත සන්නිවේදන සේවා අතර වේ. මෙම පහසුකම් ජංගම දුරකථනය තුලින් හෝ ජංගම දුරකථනය මෝඩමයක් ලෙස භාවිතා කර පරිගණකයක් තුලින් ලබාගත හැක. මෙයට අමතරව ජංගම දුරකථනයක් භාවිතයෙන් තොරව HSDPA USB මෝඩමයක් (ඩොන්ගලයක් වශයෙන්ද හැඳින්වේ) පරිගණකයකට සම්බන්ධ කිරීමෙන් ද මෙම සේවා ලබාගත හැක.




SMS - කෙටි පණිවිඩ සේවා
SMS (Short Message Service) යනුවෙන් හැඳින්වෙන්නේ ජංගම දුරකථන සේවාවල ක්‍රියාත්මක වන කෙටි පණිවිඩ සේවාවයි. මෙමගින් ජංගම දුරකථන අතර කෙටි පණිවිඩ හුවමාරු කරගත හැක. SMS පහසුකම, ජංගම දුරකථන වලට අමතරව චන්ද්‍රිකා දුරකථන හා සමහර රැහැන් රහිත ස්ථාපිත CDMA දුරකථන වලන්ද ලබාගත හැක. දුරකථනයේ ඇති තිරය මත දුරකථන යතුරු පුවරුව මගින් ටයිප් කරන පණිවිඩ තවත් SMS පහසුකම සහිත දුරකථනයකට මෙමගින් යැවිය හැක.
SMS පණිවිඩයක් සාමාන්‍යයෙන් අකුරු 160 කට සීමාවේ. නමුත් බොහෝ දුරකථන මගින් අකුරු 160 ට වඩා දිග පණිවිඩ කොටස් කිහිපයකට කඩා යැවීමේ හැකියාව ඇති අතර එම පණිවිඩය ලැබෙන දුරකථනය මගින්, වෙන් කර යැවූ කොටස් එක් කර තනි පණිවිඩයක් වශයෙන් ලබා දේ.
SMS සේවාවල විශේෂ වාසි කිහිපයක් ඇත. SMS පණිවිඩ අවට අයට බාධා නොවන පරිදි හුවමාරු කරගත හැකි අතර ශ්‍රව්‍යබාධිත අයටද පහසුවෙන් භාවිතා කළ හැක. එක් පණිවිඩයක් එක් අයකුට හෝ වැඩි ගණනකට යැවිය හැකි අතර විදේශ රටවල ජංගම දුරකථන වලටද ලාභදායක ලෙස පණිවිඩ යැවිය හැක.
SMS පණිවිඩයක් යැවීමේදී එය ලැබෙන දුරකථනය ක්‍රියාවිරහිත කර (switched off) හෝ දුරකථන සංඥා නොමැති ප්‍රදේශයක ඇත්නම් දුරකථන ජාලය මගින් එම පණිවිඩය රඳවා තබා ගෙන දුරකථනය ක්‍රියාත්මක තත්වයට පත් වූ විට එම පණිවිඩය ලබා දේ. SMS පණිවිඩයක් යැවූ පසු එය ලැබුන බව හා ලැබුන වේලාව පණිවිඩය යවන්නාට දැනගැනීමේ හැකියාවද ඇත. මේ සඳහා දුරකථනයේ ඇති එම පහසුකම (SMS delivery confirmation) ක්‍රියාත්මක කළ යුතුවේ.
දුරකථනයකට ලැබෙන SMS පණිවිඩ දුරකථනය තුල හෝ දුරකථනයේ SIM කාඩ් එක තුල එම පණිවිඩ මකා දමන තුරු රඳවා තැබේ. SMS පණිවිඩ ඉංග්‍රීසි අකුරු වලට අමතරව වෙනත් අකුරු සහිත භාෂාවලින් යැවීමේ හැකියාවද ඇත.

MMS - ජංගම බහු මාධ්‍ය සේවා
MMS (Mobile Multimedia Services) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන ජාලයක් තුළ රූප, ශබ්ද හෝ වීඩියෝ අඩංගු පණිවිඩ යැවීමේ පහසුකමයි. MMS පහසුකම සහිත ජංගම දුරකථන මෙවන් පණිවිඩ යැවීමට අවශ්‍ය වේ. කැමරා පහසුකම සහිත ජංගම දුරකථනයකින් ලබා ගත් රූප හෝ වීඩියෝ ක්ලිප් සෘජුවම එම දුරකථනයෙන් MMS ආකාරයට තවත් දුරකථනයකට යැවිය හැක.




සර්කිට් ස්විචින්ග් හා පැකට් ස්විචින්ග් (Circuit switching and packet switching)
ජංගම දුරකථන ජාලවල දත්ත සම්ප්‍රේෂණ සේවා ගැන අවබෝධයක් ලබා ගැනීමට සර්කිට් ස්විචින්ග් හා පැකට් ස්විචින්ග් යනුවෙන් හැඳින්වෙන දත්ත ප්‍රවාහන ක්‍රම ගැන අවබෝධයක් ලබා ගැනීම උපකාරී වේ.
සර්කිට් ස්විචින්ග් ක්‍රමයේදී දුර ඇමතුමක මුළු කාලය තුලම ජංගම දුරකථන ජාලය හරහා දුරකථන දෙක අතර නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනේ. රැහැන් සහිත හා ජංගම දුරකථන වල සාමාන්‍ය දුර ඇමතුම් මෙම වර්ගයට අයත්වේ. මෙහිදී සාමාන්‍යයෙන් දුරඇමතුම සම්බන්ධවී සිටින කාලය මත ගාස්තු අය කිරීම සිදු කෙරේ.
පැකට් ස්විචින්ග් ක්‍රමයේදී ඩිජිටල් ක්‍රමයට ඇති දත්ත කුඩා පැකට් හෙවත් කාණ්ඩ වශයෙන් වෙන් කර ප්‍රවාහනය කෙරේ. මෙසේ දත්ත පැකට් ප්‍රවාහනය කරන කුඩා කාල මාත්‍රාවන් තුල පමණක් දුරකථන සම්බන්ධතාවය සක්‍රීය තත්වයේ පවතී. දත්ත පැකට් ප්‍රවාහනයට නොමැති අවස්ථාවල සම්බන්ධතාවය අක්‍රීය තත්වයේ පවතී. GPRS, EDGE, HSDPA වැනි ක්‍රමවලින් දත්ත ප්‍රවාහනයේදී මෙම පැකට් ස්විචින්ග් ක්‍රමය භාවිතා කෙරේ. මෙම ක්‍රමයේදී අය කිරීම කරනු ලබන්නේ සම්බන්ධතාවය පවත්වාගන්නා කාලය මත නොව ප්‍රවාහනය කරන දත්ත පරිමාව මතය. ප්‍රවාහනය කළ දත්ත කිලොබයිට් (kB) හෝ මෙගාබයිට් (MB) ප්‍රමාණය මත ඒ සඳහා අය කිරීම කරනු ලැබේ. පැකට් ස්විචින්ග් ක්‍රමයේදී ජංගම දුරකථනයකින් දුරකථන ජාලය සමග සෑමවිටම සම්බන්ධතාව පවත්වාගන්නා අතර (always on connection) දත්ත සම්ප්‍රේෂණය වන අවස්ථාවලදී සම්බන්ධතාවය සක්‍රීය තත්වයෙන්ද අනෙකුත් අවස්ථාවලදී සම්බන්ධතාවය අක්‍රීය තත්වයෙන්ද පවතී.
ජංගම දුරකථන දත්ත සම්ප්‍රේෂණ සේවා මගින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීම, ජංගම දුරකථනය තුලින්ම හෝ ජංගම දුරකථනය සම්බන්ධ කළ පරිගණකයක් මගින් කළ හැක. ජංගම දුරකථනය පරිගණකයක් හා සම්බන්ධකිරීම, USB කේබලයක් මගින් හෝ බ්ලූටූත් මගින් කළ හැක.
මෙයට අමතරව මෙම ජංගම දුරකථන ජාලවල දත්ත සේවා පහසුකම් භාවිතාකර අන්තර්ජාල පහසුකම් ජංගම දුරකථනයක භාවිතයෙන් තොරවද පරිගණකයකට ලබාගත හැක. ඒ සඳහා  USB මෝඩමයක් (මෙය ඩොන්ගල් යනුවෙන්ද හැඳින්වේ) පරිගණකයකට සම්බන්ධ කිරීමෙන් මෙම දත්ත සන්නිවේදන සම්බන්ධතාව ලබාගත හැක. සමහර නවීන ලැප්ටොප් වරගයේ පරිගණකවල මෙම දත්ත සේවා සම්බන්ධකම් ලබාගැනීමට ඇතුලතින්ම සැකසූ (built in) පහසුකම් ඇත.
ඉහත සඳහන් ජංගම දුරකථන ජාල ආශ්‍රිත දත්ත සන්නිවේදන සේවා පහසුකම් ලබාගැනීමට ඒ සඳහා ගෙවීමක් කර ග්‍රාහක දායකත්වය ලබාගෙන තිබිය යුතුය.

GPRS/EDGE/HSDPA සේවා ලබාගැනීමට අවශ්‍යතා කිහිපයක් සම්පූර්ණ විය යුතුය. ජංගම දුරකථනය හෝ භාවිතා කරන උපාංගය සහ ජංගම දුරකථන ජාලය මෙම පහසුකම් වලින් සමන්විත විය යුතුය. සම්බන්ධවන ජංගම දුරකථන කුළුන ආශ්‍රිත සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ද මෙම පහසුකම් වලින් සමන්විත විය යුතුය. ජංගම දුරකථන ජාලයක, සියළු ප්‍රදේශවල සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන, සමහර අවස්ථාවල, මෙම පහසුකම් ලබාදීමේ හැකියාවෙන් තොර විය හැක. GPRS හා EDGE පහසුකම් GSM ජංගම දුරකථන ජාලයකද, HSDPA පහසුකම 3G දුරකථන ජාලයකද ඇති දත්ත සන්නිවේදන සේවාවන්ය.

අනුවර්තී මූර්ජනය (Adaptive Modulation)
අනුවර්තී මූරජන තාක්‍ෂණය ජංගම දුරකථන ජාලවල දත්ත සේවා සම්ප්‍රේෂණය සඳහා බොහෝ අවස්ථාවල භාවිතා වේ. මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිතා වන රේඩියෝ තරංග මූර්ජන ක්‍රමය, පවතින සම්බන්ධතාවයේ තත්වය මත වෙනස් කෙරේ. ප්‍රබල සංඥා සහිතව හොඳ සම්බන්ධතාවයක් පවතින අවස්ථාවල, වැඩි වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි මූර්ජන ක්‍රමයක් භාවිතා කෙරේ. තම දුරකථනය අයත් ජංගම දුරකථන ජාලයක සම්ප්‍රේෂණ කුළුනක් අසළ සිටින විට වැඩි දත්ත සන්නිවේදන වේගයකුත්, කුළුනකින් ඈත්වත්ම අඩු දත්ත සන්නිවේදන වේගයක් ලැබීමට හේතුව, සංඥාවල ප්‍රබලතාව හීනවත්ම ප්‍රබලතාව අඩු සංඥා සඳහා වඩා සුදුසු නමුත් අඩු දත්ත සන්නිවේදන වේග ලබාදෙන රේඩියෝ තරංග මූර්ජන ක්‍රමවලට මාරුවීමය. දුරකථන ජාලයේ එක් අවස්ථාවක හුවමාරුවන ඇමතුම් හ දත්ත සම්බන්ධතා ගණන වැඩිවත්ම දත්ත සන්නිවේදන වේගයන් අඩු විය හැක.


            

GPRS
GPRS (General Packet Radio Service) යනුවෙන් දැක්වෙන්නේ GSM වැනි දෙවන පරපුරේ (2G) ජංගම දුරකථන ජාලවල ඇති දත්ත සන්නිවේදන තාක්‍ෂණයකි. එය 3G ජංගම දුරකථන ජාලවල ද ලබාගත හැක. GPRS මගින් දත්ත කුඩා කාණ්ඩ (පැකට්) වශයෙන් හුවමාරු කෙරෙන අතර සම්ප්‍රේෂණයේ දුර ඇමතුම් සඳහා භාවිතා නොවන හිස් කාල විවර (time slots) මේ සඳහා භාවිතා වේ.
GPRS මගින් සන්නිවේදනය වන දත්ත ප්‍රවාහන වේගය, භාවිතා වන දුරකථනයේ වර්ගය, සිටින ප්‍රදේශයේ GPRS පහසුකම සහිත දුරකථන සංඥා ආවරණය හා එම ප්‍රදේශයේ දුරකථන ජාලය තුල හුවමාරු වන ඇමතුම් හා දත්ත ප්‍රමාණය (data traffic) මත රඳා පවතී. න්‍යායික වශයෙන් 115kbps දක්වා දත්ත සන්නිවේදන වේගයක් GPRS මගින් ලබාදිය හැකි වුවත් සාමාන්‍ය භාවිතයේ දී ලබාගත හැකි දළ වේගය 20-40kbps අතර වේ.

GPRS පහසුකම සහිත ජංගම දුරකථන කාණ්ඩ තුනකින් යුක්ත වේ.
A කාණ්ඩය (Class A)  - එකම අවස්ථාවේ GPRS සේවාව හා GSM දුරඇමතුම් සේවා ක්‍රියාත්මක කළ හැක.
B කාණ්ඩය (Class B) - එක අවස්ථාවක දී GPRS හෝ GSM දුරඇමතුම් සේවාවලින් එකක් පමණක් ක්‍රියාත්මක කළ හැක. GPRS  සම්බන්ධතාවයක් ඇති විටක දී දුරඇමතුමක් ලැබීමේ දී හෝ ලබාගැනීමේ දී GPRS සම්බන්ධතාවය තාවකාලිකව අත්හිටුවා දුරඇමතුම අවසානයේ දී GPRS සම්බන්ධතාවය නැවත ක්‍රියාත්මක වේ. 
C කාණ්ඩය (Class C) - එක අවස්ථාවක දී GSM හෝ GPRS සේවා වලින් එකක් පමණක් ක්‍රියාත්මක කළ හැකි අතර එම සේවා ස්වයංක්‍රියව මාරු නොවන අතර විශේෂයෙන් මාරු කළ යුතු වේ.

EDGE
EDGE (Enhanced Data rates for GSM Evolution) යනුවෙන් දැක්වෙන්නේ GSM ජංගම දුරකථන ජාලවල දත්ත සන්නිවේදනය සඳහා සැකසූ ක්‍රමෝපායකි. එය GPRS ක්‍රමයට වඩා දියුණු වන අතර වැඩිදියුණු කළ රේඩියෝ තරංග මූර්ජන (modulation) හා කේතීකරන (coding) ක්‍රම මෙහි දී භාවිතා වේ. EDGE ක්‍රමය භාවිතයෙන් GPRS ක්‍රමයට වඩා තුන් ගුණයක පමණ දත්ත ප්‍රවාහන වේගයක් ලබා ගත හැක. EDGE ක්‍රමයේ දී  GMSK මූර්ජනය සමග  8-PSK (8-Phase Shift Keying) ක්‍රමය භාවිතා වේ. EDGE ක්‍රමයේ දී දුරකථන රේඩියෝ චැනලයක කාල විවර (time slots) අටම භාවිතා කරන්නේ නම් 384kbps දක්වා දත්ත සන්නිවේදන වේගයක් ලබා ගත හැක.

HSPA
HSPA (High Speed Packet Access) යන වදන HSDPA (High Speed Downlink Packet Access) හා HSUPA (High Speed Uplink Packet Access) ක්‍රම දෙකම පොදු වශයෙන් දැක්වීමට යොදා ගැනේ. HSDPA ක්‍රමයේ යටි සම්බන්ධතාවය (downlink) සඳහා පමණක් වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබාගත හැකි අතර, HSUPA ක්‍රමයේ දී උඩු සම්බන්ධතාවය (uplink) සඳහා ද වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබා ගත හැක. HSPA දත්ත සන්නිවේදනයේ දී අනුවර්තී මූර්ජන හා කේතීකරන ක්‍රම වැඩි දත්ත ප්‍රවාහන වේගයක් ලබාගැනීමට භාවිතා කෙරේ.
HSPA, 3G ජංගම දුරකථන ජාල වල ඇති පහසුකමක් වන අතර එමගින් දත්ත ප්‍රවාහනයට HSPA පහසුකම සහිත 3G ජංගම දුරකථනයක් අවශ්‍ය වේ. 3G පහසුකම සහිත දුරකථනයක් සමග 3G SIM කාඩ් පතකින් 3G දුරකථන සම්බන්ධතාව ලබා සිටීම, 3G සංඥා ආවරණය වන ප්‍රදේශයක සිටීම හා සම්බන්ධ වන ජංගම දුරකථන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ආශ්‍රිත කුළුන, HSDPA හෝ HSUPA පහසුකම් වලින් සමන්විත වීම HSPA සේවා භාවිතයට අවශ්‍ය වේ.

HSDPA
HSDPA සේවා සඳහා QPSK හා 16QAM යන මූර්ජන ක්‍රම භාවිතා කෙරේ. න්‍යායික වශයෙන් 14.4 Mbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් යටි සම්බන්ධතාවය (downlink) සඳහා මෙමගින් ලබාගත හැකි වුවත් සාමාන්‍ය භාවිතයේදී ලබාගත හැකි උපරිම වේගය 2-3 Mbps පමණ වේ. සාමාන්‍යයෙන් HSDPA සේවා, දුරඇමතුමක යෙදී සිටින අවස්ථාවක වුවද ලබාගත හැක.

HSUPA
HSUPA මගින් HSDPA වලදී ලබාගත් වේගයට වඩා වැඩි දත්ත ප්‍රවාහන වේගයක් උඩු සම්බන්ධතාවයට (uplink) ලබාගත හැකි වන අතර ලබාගත හැකි උපරිම වේගය (උඩු සම්බන්ධතාව සඳහා) 5.76Mbps වේ.

HSPA+
HSPA+ යනුවෙන් හැඳින්වෙන නවතම ප්‍රවේශය (release) මගින් 42Mbps දක්වා උපරිම යටි සම්බන්ධතා (downlink) වේගයක් හා 11Mbps  උඩු සම්බන්ධතා (uplink) වේගයක් ලබාගත හැක. මෙය HSPA evolved වශයෙන් ද හැඳින්වේ. යටි සම්බන්ධතාවයේ දී 64QAM හා උඩු සම්බන්ධතාවයේ දී 16QAM යන මූර්ජන ක්‍රම භාවිතා වේ.

LTE
LTE (Long Term Evolution) යනු 3G UMTS පද්ධති තාක්‍ෂණය වැඩි දියුණු කිරීමෙන් නිර්මාණය කළ ජංගම දුරකථන ජාල පද්ධතිය හැඳන්වීමට යෙදෙන වදනකි. මෙමගින් අනාගතයේ 100Mbps හෝ ඊට වැඩි දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබාගැනීමට හැකි වෙතැයි අපේක්‍ෂා කෙරේ. මෙම වේගයන් දුරකථන ජාලයේ භාවිතා වන තරංග සංඛ්‍යාතය (frequency), තරංග පළල (bandwidth) හා තවත් කරුණු මත රඳා පවතී.

LTE Advanced
LTE Advanced යනු 4G හෙවත 4 වන පරපුරේ ජංගම දුරකථන ජාලවල අවශ්‍යතා සම්පූර්ණ කෙරෙතැයි බලාපොරොත්තු වන ජංගම දුරකථන පද්ධතියකි. මෙමගින් 1Gbps දක්වා දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයක් ලබාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.





ජංගම දුරකථන ආශ්‍රිත දත්ත සේවා සාරාංශය

තාක්‍ෂණය
රේඩියෝ තරංග මූර්ජන ත්‍රමය
තාක්‍ෂණය පිළිබඳ විස්තරය
උපරිම දත්ත සන්නිවේදන වේගය
සාමාන්‍ය දත්ත සන්නිවේදන වේගය - යටි සම්බන්ධතාව
සාමාන්‍ය දත්ත සන්නිවේදන වේගය - උඩු සම්බන්ධතාව
GPRS
TDMA
General Packet Radio Service
115 kbps
20-40 kbps
20-40 kbps
EDGE
TDMA
Enhanced Data Rate for GSM Evolution
(Enhancement to GPRS)
484 kbps
70-130 kbps
70-130 kbps
3G UMTS
(without enhanced data services)
CDMA
3G Universal Mobile Telecommunication System
384 kbps
(2 Mbps specified)
200-300 kbps
200-300 kbps
3G UMTS with
HSDPA
CDMA
High Speed Downlink Packet Access
14.4 Mbps
0.5 - 4 Mbps
0.5-2 Mbps
3G with
HSUPA (HSPA)
CDMA
High Speed Uplink Packet Access
14.4 Mbps
0.5-4 Mbps
0.5-3 Mbps
3G with
HSPA+
(Release 8)
CDMA
Evolution of HSPA
42 Mbps
Above 5Mbps
Above 3 Mbps
LTE
OFDMA
Long Term Evolution
326 Mbps
10 Mbps
5 Mbps
LTE Advanced
OFDMA
Long Term Evolution Advanced
1 Gbps




                                                                                                                                   © කුසල් ඈපා