Tuesday, September 15, 2015

චන්ද්‍රිකා දුරකථන (SatPhones)

චන්ද්‍රිකා දුරකථනයක් යනු අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ආධාරයෙන් දුරඇමතුම් ලබාගත හැකි ජංගම දුරකථනයකි. මෙම දුරකථන සැට්ෆෝන් (satphone) යනුවෙන්ද හැඳින්වේ. චන්ද්‍රිකා දුරකථන සඳහා විශේෂ වූ චන්ද්‍රිකා පද්ධතියක් අභ්‍යවකාශයේ රඳවා ඇති අතර චන්ද්‍රිකා දුරකථන එවන් චන්ද්‍රිකා සමග සෘජුව සම්බන්ධතා ඇති කරගනී. චන්ද්‍රිකා දුරකථනයකින් ලබා ගන්නා දුර ඇමතුම් පෘථිවියේ ඇති ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථානයක් (gateway station) හරහා සාමාන්‍ය දුරකථන පද්ධතිවලට සම්බන්ධ වේ. මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා ඩිෂ් ඇනටෙනා වලින් යුක්ත වන අතර චන්ද්‍රිකා දුරකථන පද්ධතියේ දුරඇමතුම් ලෝකයේ අනෙකුත් දුරකථන (සාමාන්‍ය හා ජංගම) පද්ධතිවලට සම්බන්ධ කිරීම මෙම ප්‍රවේශ ද්වාර මධ්‍යස්ථාන හරහා සිදු කෙරේ.
චන්ද්‍රිකා දුරකථන දුරස්ථ ප්‍රදේශවලදී විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අතර සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති හා වෙනත් සන්නිවේදන පහසුකම් නොමැති ප්‍රදේශවලදී මෙමගින් දුරඇමතුම් ලබාගැනීමට හැකි වීම විශේෂ වාසියකි. මෙවන් චන්ද්‍රිකා දුරකථන පද්ධති GMSS (Global Mobile Satellite Systems) යන නමින්ද හැඳින්වේ.
චන්ද්‍රිකා දුරකථන, සාමාන්‍ය භාවිතයේ ඇති සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන වලට වඩා මිල වැඩි අතර දුර ඇමතුම් ද සාමාන්‍ය ජංගම දුර ඇමතුම් මිලට වඩා වැඩි වේ. චන්ද්‍රිකා දුරකථන මගින් දුරඇමතුම් වලට අමතරව දත්ත සන්නිවේදන සේවා පහසුකම ද සැලසිය හැකි අතර ප්‍රවෘත්ති වාර්තාකිරීම,  හදිසි අවස්ථාවලදී පණිවිඩ හුවමාරුවට, නාවික හා ගුවන් ගමන් වලදී පණිවිඩ හුවමාරුවට, හදිසි ආපදා සහන කටයුතු වල, මුහුදේ ඇති තෙල් හා ගෑස් කැණීම් ආකර වල ආදියේ භාවිතය සඳහා බහුලව යොදා ගැනේ.
චන්ද්‍රිකා දුරකථන විශේෂයෙන් ප්‍රයෝජනවත් වන අවස්ථා හැටියට දැක්විය හැක්කේ හදිසි ආපදා අවස්ථාවලදී වෙනත් සන්නිවේදන මාර්ග අඩපණ වී ඇතිවිට සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කිරී‍මට ඇති හැකියාවයි.
චන්ද්‍රිකා දුරකථනයක විශාලත්වය, භාවිතා වන චන්ද්‍රිකා දුරකථන ජාලය මත රඳා පවතී. සමහර චන්ද්‍රිකා දුරකථන ජාල සඳහා අතේ ගෙනයා හැකි කුඩා ජංගම චන්ද්‍රිකා දුරකථන භාවිතා වන අතර තවත් සමහර චන්ද්‍රිකා දුරකථන ජාලවල භාවිතා වන දුරකථන කුඩා ලැප්ටොප් පරිගණකයක ප්‍රමාණත්වයෙන් යුක්ත වේ.
චන්ද්‍රිකා දුරකථනයක් නිසි පරිදි ක්‍රියා කිරීමට, දුරකථනය අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා සමග බාධාවකින් තොරව සම්බන්ධවිය හැකි එලිමහන් ස්ථානයක සිට ක්‍රියා කළ යුතුවේ. දුරකථනය හා චන්ද්‍රිකා අතර දෘෂ්ඨි රේඛාව (line of sight) බාධාවලින් තොර විය යුතුය. ගොඩනැගිල්ලක් තුල හෝ චන්ද්‍රිකා සමග ඇති පථයට බාධා වන ස්ථාන වල සිට චන්ද්‍රිකා දුරකථන ක්‍රියා කරවීම අපහසු විය හැක. ගොඩනැගිල්ලක් තුල සිට චන්ද්‍රිකා  දුරකථනයක් හොඳින් ක්‍රියාත්මක කිරීමට එයට සම්බන්ධ කළ ඇන්ටෙනාවක් පිටතින් එලිමහනේ සවිකිරීම අවශ්‍ය විය හැක.
සාමාන්‍ය දුරකථන හෝ ජංගම දුරකථන මගින් චන්ද්‍රිකා දුරකථනයකට ලබාගන්නා ඇමතුම් මිලෙන් අධික විය හැකි අතර එය ජාත්‍යන්තර දුර ඇමතුමකටද වඩා මිලෙන් වැඩි විය හැක.


                    

චන්ද්‍රිකා දුරකථන සේවා සපයන චන්ද්‍රිකා ජාල වර්ග දෙකකි. එනම් LEO හා GEO වශයෙනි.

GEO (Geostationary) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල වල දී චන්ද්‍රිකා අඩු ගණනකින් වැඩි ප්‍රදේශයක් ආවරණය කළ හැක. එක් චන්ද්‍රිකාවක් මගින් ලෝකයේ තුනෙන් එකක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කළ හැක.චන්ද්‍රිකා 3 ක් හෝ 4 කින් මුළු ලොවම ආවරණය වන පරිදි සංඥා සම්ප්‍රේෂණය කළ හැක. මේ සඳහා භාවිතා වන චන්ද්‍රිකා අභ්‍යවකාශයේ 35786km  උසකින් ඇති කක්‍ෂයක රඳවා තිබේ. මෙම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණයට සමගාමීව අභ්‍යවකාශයේ ගමන් කරන අතර පෘථිවියට සාපේක්‍ෂව මෙවන් චන්ද්‍රිකා එකම ස්ථානයක සථානගතවී ඇත. පෘථිවියේ සිට මෙවන් චන්ද්‍රිකාවලට ඇති විශාල දුර ප්‍රමාණය නිසා දුරකථන සංඥාවලට පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට තත්පර කාලක් පමණ ගතවේ. දුරඇමතුමකදී මෙම පමාව ප්‍රකට වේ. තවද විශාල දුර ප්‍රමාණය නිසා අභ්‍යවකාශයේ ගමන්කරන සංඥා වැඩිවශයෙන් දුර්වල වේ. මෙනිසා LEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාල හා සැසඳීමේදී විශාල ප්‍රමාණයේ ඇන්ටෙනා හා වැඩි සම්ප්‍රේෂණ බලයක් මෙහිදී භාවිතා කළ යුතුවේ.
තුරායා හා ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන ජාල මෙවන් GEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

LEO (Low Earth Orbit) චන්ද්‍රිකා
මෙම වර්ගයේ චන්ද්‍රිකා දුරකථන ජාලවලදී පෘථිවියේ සිට 500-1500km අතර උසකින් පිහිටි කක්‍ෂයක ගමන් කරන චන්ද්‍රිකා භාවිතයට ගැනේ. මෙම චන්ද්‍රිකා අධික වේගයකින් (තත්පරයට 7km පමණ වේගයකින්) පෘථිවිය වටා ගමන් කරන අතර එක් වටයක් සම්පූර්ණ කිරීමට විනාඩි 70-90 අතර කාලයක් ගතවේ.
එක් චන්ද්‍රිකාවකින් එක් අවස්ථාවක පෘථිවියේ කුඩා කොටසක් පමණක් දුරකථන සංඥා මගින් ආවරණය කළ හැකි අතර මුළු ලොවම ආවරණය කිරීමට චන්ද්‍රිකා ගණනාවක් අවශ්‍ය වේ. මෙම වර්ගයේ චන්ද්‍රිකා නිරතුරුවම අභ්‍යවකාශයේ ගමන් කරමින් පවතින නිසා එක් චන්ද්‍රිකාවකින් පෘථිවියේ එක් ප්‍රදේශයක් ආවරණය වන්නේ වරකට විනාඩි 7-20 අතර කාලයකි. එම කාලය චන්ද්‍රිකාව ගමන් කරන උස හා පෘථිවියේ ආවරණය වන ප්‍රදේශය මත රඳා පවතී. මෙවන් චන්ද්‍රිකා දුරකථන ජාලවලට අයත් චන්ද්‍රිකා දුරකථන, GEO වර්ගයේ චන්ද්‍රිකා දුරකථන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර, කුඩා ඇන්ටෙනාවකින් යුක්තව කුඩා සම්ප්‍රේෂණ බලයක් ද භාවිතා කෙරේ. එයට හේතුව පෘථිවියේ සිට චන්ද්‍රිකාවට ඇති අඩු දුර ප්‍රමාණයයි. ඉරිඩියම් හා ග්ලෝබල්ස්ටාර් චන්ද්‍රිකා දුරකථන ජාල මෙම LEO වර්ගයේ චන්ද්‍රිකා භාවිතා කරයි.

චන්ද්‍රිකා හා සෙලියුලර් ද්වි මාත දුරකථන (Dual Mode Cellular/Satellite Phones)
මෙම වර්ගයේ දුරකථන මගින් සෙලියුලර් වර්ගයේ ජංගම දුරකථන ජාල හා චන්ද්‍රිකා දුරකථන ජාල යන දෙකම භාවිතා කළ හැක. අවශ්‍ය වූ විට සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා හෝ චන්ද්‍රිකා දුරකථන ජාලයක් හරහා සම්බන්ධ විය හැක. බොහෝ චන්ද්‍රිකා දුරකථන මෙම ගණයට අයත් වේ. මෙහි ඇති විශේෂ වාසිය නම් ග්‍රාහකයකුට මිල අඩු සෙලියුලර් ජංගම දුරකථන ජාලයක් හරහා සම්බන්ධකම් ඇති කරගැනීමේ හැකියාවත්, එවන් දුරකථන ජාලයක සංඥා ආවරණය නොමැති ප්‍රදේශවලදී පමණක් චන්ද්‍රිකා දුරකථන ජාලයකට සම්බන්ධ වීමේ ඇති හැකියාවත් ය.

චන්ද්‍රිකා දුරඇමතුම් සඳහා ප්‍රවේශ කේත (Satellite phone access codes)
ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) මගින් +881 න් පටන් ගන්නා අංක චන්ද්‍රිකා දුරකථන සඳහා වෙන්කර ඇත. එහෙත් ඉන්මාර්සැට් චන්ද්‍රිකා දුරකථන සඳහා මෙය අදාල නොවේ. මෙම අංක වෙන් කිරීමට පෙර ඉන්මාර්සැට් සඳහා +870-874 දක්වා අංක වලින් පටන් ගන්නා දුරකථන අංක වෙන්කර දී තිබුණි. තවද පසුව ආරම්භ කළ සමහර චන්ද්‍රිකා දුරකථන සේවා වලට +882 අංකය වෙන් කර ඇත. (මෙහිදී + ලකුණින් දැක්වෙන්නේ ජාත්‍යන්තර ඇමතුම් ලබා ගැනීමට මුලින් යෙදිය යුතු කේත අංකයයි. මෙය විවිධ රටවල දී වෙනස් වන අතර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල 00 භාවිතා වේ. ජංගම දුරකථන වලදී නම් ප්‍රවේශ කේතය ලෙස සෘජුවම + ලකුණ භාවිතා කළ හැක.)

චන්ද්‍රිකා දුරකථන ජාල කිහිපයක් දැනට භාවිතයේ ඇත. මෙයින් සමහරක් මුළු ලොවම ආවරණය කරන අතර තවත් සමහර ජාල ලොව එක් කොටසක් පමණක් ආවරණය කරයි.





    Iridium චන්ද්‍රිකා දුරකථනයක්