Sunday, October 5, 2014

ජංගම දුරකථනවල ඇති විශේෂාංග හා පහසුකම්



ජංගම දුරකථනවල ග්‍රාහකයන්ට විශේෂයෙන් ප්‍ර‍යෝජනවත් වන ‍විශේෂංග හා පහසුකම් බොහොමයක් ඇත. එයින් බහුලව භාවිතා වන කිහිපයක් මෙහි විස්තර කර ඇත.




SIM කාඩ් පත
SIM  කාඩ් ජංගම දුරකථන වල ප්‍රථමයෙන් භාවිතයට ගැනුනේ  GSM ජංගම දුරකථන ජාලවල දී ය . SIM යනුවෙන් දැක්වෙන්නේ Subscriber Identity Module හෙවත් ග්‍රාහක අනන්‍යතා මොඩියුලය යි. SIM කාඩ් පත කුඩා සෘජුකණාස්‍රාකාර හැඩයකින් යුක්තය. බොහෝ ඩිජිටල් ජංගම දුරකථන ක්‍රියා කිරීමට ඒ තුලට SIM කාඩ් පතක් ඇතුළු කළ යුතුය. එය බොහෝ අවස්ථාවල බැටරියට යටින් ඇතුළු කළ යුතුය. SIM කාඩ් පත තුල පුද්ගල අනන්‍යතා විස්තර, ජංගම දුරකථන ජාලය හා දුරකථන අංකය සම්බන්ධ විස්තර ඇතුළත්ව ඇති අතර, දුරකථන අංක නාමාවලි විස්තර, SMS පණිවිඩ ආදිය ගබඩා කිරීමට ද භාවිතා කෙරේ. ජංගම දුරකථන අංකය SIM කාඩ් පතට අනුයුක්ත වන අතර SIM කාඩ් පත වෙනත් දුරකථනයකට ඇතුලත් කළ විට එම දුරකථනය SIM කඩ්පත හා අනුයුක්ත දුරකථන අංකයට අනුව ක්‍රියා කෙරේ. 3G UMTS ජංගම දුරකථන ජාල වල භාවිතා වන SIM කාඩ් පත් USIM කාඩ්පත් වශයෙන් හැඳින්වේ. සමහර නවීන දුරකථනවල මයික්‍රෝ හෝ නැනෝ සිම් (Micro/Nano SIM) වශයෙන් හැඳින්වෙන් කුඩා ප්‍රමාණයේ SIM කාඩ් පත් භාවිතා වේ.
Dual SIM වර්ගයේ ජංගම දුරකථන වලට SIM කාඩ්පත් දෙකක් ඇතුළු කළ හැකි අතර එවන් දුරකථනවලට දුරකථන අංක දෙකකට අනුකූලව ක්‍රියා කළ හැක.
විදේශ රටවල සංචාරය කරන අවස්ථාවල එම රටවල පෙර ගෙවූ (prepaid) SIM කාඩ්පතක් මගින් එම රටට අදාළ දේශීය දුරකථන අංකයක් ලබා ගත හැක. මේ සඳහා රැගෙන යන ජංගම දුරකථනය එම රටට අදාල ජංගම දුරකථන ජාලවලට අනුකූල සංඛ්‍යාත පරාසයක ක්‍රියාකළ යුතු වේ. තවද ජංගම දුරකථනය SIM Lock හෝ Network Lock මගින් භාවිතය සීමා කර නොතිබිය යුතුය. විකල්පයක් වශයෙන් රෝමිං (roaming) සේවා භාවිතයෙන් තම මුල් දුරකථන අංකයද විදේශ රටකදී භාවිතා කළ හැක.
                                                                    
                       



SIM Backup
SIM කාඩ් පතක ගබඩා කර ඇති තොරතුරු (දුරකථන අංක නාමාවලි, SMS පණිවිඩ ආදිය) SIM backup කිරීම මගින් පරිගණකයකට සුරැකිව යවා ගබඩා කළ හැක. මේ සඳහා ජංගම දුරකථනය පරිගණකයකට සම්බන්ධ කළ යුතු අතර සුදුසු මෘදුකාංග භාවිතා කළ යුතුය.

ජංගම දුරකථන ආරක්‍ෂිත කේත

SIM /Network Lock
ජංගම දුරකථන සමාගම් සමහර අවස්ථාවලදී, විශේෂයෙන් දුරකථනය සහන මිලට ලබාදෙන අවස්ථාවල දුරකථනය SIM Lock  හෝ Network Lock කිරීම මගින් එම දුරකථනය වෙනත් SIM කාඩ් පත් සමග භාවිතා කිරීම වැලැක්වීමට ක්‍රියා කරයි.  SIM Lock කිරීම මගින් එක් SIM කාඩ්පතකට පමණක් දුරකථනය භාවිතය සීමා කිරීම සිදුවේ. Network Lock මගින් දුරකථනය එක් ජංගම දුරකථන ජාලයකට අයත් SIM කාඩ් පත් සමග පමණක් හාවිතා කිරීමට ඉඩ ලබා‍දේ.
SIM  හෝ Network Lock කර ඇති දුරකථන unlock කිරීම දුරකථනයේ යතුරු පුවරුව මගින් විශේෂ කේත අංක (unlock codes)  ඇතුළු කිරීම මගින් කළ හැක. එම කේත අංක සාමාන්‍යෙයන් දුරකථනය lock කළ ජංගම දුරකථන සමාගමෙන් ලබා ගත හැක.

Security/Lock Code
බොහෝ දුරකථන අනවසර භාවිතයෙන් වැළැක්වීමට  විශේෂ ආරක්‍ෂිත කේත ඇතුළු කිරීමේ හැකියාවෙන් යුක්තය. මෙම ආරක්‍ෂිත කේත සාමාන්‍යයෙන් ඉලක්කම් 5 කින් යුක්ත වේ. Nokia වර්ගයේ දුරකථන ඇතුළු බොහෝ දුරකථනවල මෙම ආරක්‍ෂිත කේත අංකය මුලින් 12345 අංකයට පිහිටුවා ඇත. මෙය තමන්ට අවශ්‍ය අංකයකට වෙනස් කරගත හැක. මෙම පහසුකම සක්‍රීය කළ ඇති අවස්ථාවල දුරකථනය භාවිතයට පෙර එම ආරක්‍ෂිත කේත අංකය ඇතුළු කළ යුතුය. මෙමගින් අනවසර භාවිතය වැළකේ. මෙම ආරක්‍ෂිත කේත (Security/Lock Code) දුරකථනය ආරක්‍ෂා කිරීමට යොදා ගැනෙන අතර SIM කාඩ්පත ආරක්‍ෂා කර ගැනීමට PIN Codes යනුවෙන් වෙනත් කේත අංක භාවිතා කෙරේ.

පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN – Personal Identification Code)
PIN නමින් හැඳින්වෙන අංකය SIM කාඩ් පත් වල ඇති විශේෂාංගයකි. මෙම අංකය සහිත පහසුකම සක්‍රීය කර ඇති විට සෑම අවස්ථාවකම ජංගම දුරකථන යතුරු පුවරුව භාවිතා කිරීමට පෙර මෙම අංකය ඇතුළු කළ යුතුය. පිටපිටම තුන්වරක් වැරදි PIN අංක ඇතුළු කළහොත් SIM කාඩ්පත බාධිත (blocked) තත්වයට පත්වේ. ‍බොහෝ SIM කාඩ්පත්වල මෙම PIN අංකය 0000 වශයෙන් මුලින් සකසා ඇති අතර එය තමන්ට කැමති ඕනෑම ඉලක්කම් 4ක අංකයකට වෙනස් කරගත හැක.

PUK (Personal Unblocking Key)
වැරදි PIN අංකය පිටපිටම තුන්වරක් ඇතුළු කර SIM කඩ්පත බාධිත තත්වයට පත්වී ඇති විට එය නැවත ක්‍රියාකාරී තත්වයට පත්කිරීමට (unblock) මෙම PUK අංකය ඇතුළු කළ යුතුවේ. එය ඉලක්කම් 4-8 අතර ඇති අංකයක් වන අතර සාමාන්‍යයෙන් SIM කාඩ් පත සමග එම අංකය ලබාදේ. බාධිත SIM කාඩ් පතක් unblock කිරීමට වැරදි PUK අංකයක් 10 වරක් ඇතුළු කළ හොත් එම SIM කාඩ්පත නැවත භාවිතයට ගතනොහැකි වන පරිදි අක්‍රිය තත්වයට පත්වේ. PUK අංකය SIM කාඩ්පත සමග සපයා නොමැති අවස්ථාවක එය SIM කාඩ් පත විකිණූ ජංගම දුරකථන සමාගමෙන් හෝ එහි ඒජන්ත වරයාගෙන් ලබාගත හැක.    

PIN2/PUK2
ජංගම දුරකථන ජාල ආශ්‍රිත සමහර පහසුකම් ක්‍රියාත්මක කිරීමට PIN2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ. මෙම අංකය SIM කාඩ් පත සමග යම් අවස්ථාවල සැපයේ. මෙමගින් වැඩි ආරක්‍ෂක පියවරක් SIM කාඩ් පතට ලැබේ. PIN2 අංකය වැරදි ලෙස ඇතුළු කර SIM කාඩ් පත බාධිත තත්වයට පත්වුවහොත් එය නැවත යථා තත්වයට පත් කිරීමට PUK2 නමින් දැක්වෙන අංකය අවශ්‍ය වේ.

Barring Password
ජංගම දුරකථන වල ඇති පහසුකම් සීමා කිරීමට barring password භාවිතා කෙරේ. දුර ඇමතුම් ලබාගැනීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් සීමා කිරීම, ඇමතුම් ලැබීම සීමා කිරීම, ජාත්‍යන්තර ඇමතුම් ලැබීම සීමා කිරීම, ආදිය මෙමගින් කළ හැක. විවිධ අවස්ථා වල දී එවන් සීමා කිරීම් පනවා ඇති විට එම සීමා කර ඇති පහසුකම් භාවිතා කිරීමට විශේෂ කේත අංක මුලින් ඇතුළු කළ යුතුවේ.

IMEI
IMEI (International Mobile Equipment Identity) යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථන හඳුනා ගැනීමට භාවිතා වන ඉලක්කම් 15 කින් යුත් විශේෂ හඳුනාගැනීමේ අංකයකි. එය දුරකථනයක අනුක්‍රමාංකයට (serial number) යම් අයුරින් සමානාත්වයක් දක්වයි. IMEI අංකය සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක ඇතුළත බැටරියට යටින් සුදු ස්ටිකරයක දක්වා ඇත. දුරකථනය මුලින් මිලට ගන්නා අවස්ථාවේ එය අඩංගුවූ පෙට්ටියේද මෙම අංකය දක්වා ඇත. දුරකථන යතුරු පුවරුව මත *#06# ඇතුළු කිරීමෙන් මෙම අංකය තිරය මත දැක්වේ.
නැතිවූ ජංගම දුරකථනයක් සොයා ගැනීම සඳහා IMEI විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ජංගම දුරකථන ජාලයකට මෙම IMEI අංකය භාවිතා කර, සොරකම් කළ හෝ නැතිවූ දුරකථනයක් දුරකථන ජාලය තුල භාවිතා කිරීම වැළැක්විය හැක. එවන් අවස්ථාවල එම දුරකථනය වෙනස් SIM කාඩ් පතක් භාවිතයෙන් වුවද ක්‍රියා කරවිය නොහැක. IMEI අංකය ජංගම දුරකථනයකට විශේෂයෙන් වැදගත්වන ආරක්‍ෂිත අංගයක් වන අතර එය දුරකථනය හා ඒ ආශ්‍රිත ඇමතුම් හඳුනාගැනීමට (විවිධ SIM කාඩ් භාවිතා කළද) උපකාරවේ.





පෙර ගෙවූ (pre paid) හා පසු ගෙවූ (post paid) ජංගම දුරකථන සම්බන්ධතා
පෙර ගෙවූ ජංගම දුරකථන සම්බන්ධතාවයක දුර ඇමතුම් සඳහා ගෙවීම් මුලින් යම් අගයකට කළ යුතුය. එම ගෙවූ ප්‍රමාණයේ අගයට අනුව දුර ඇමතුම් ලබා ගත හැක. පෙර ගෙවූ සම්බන්ධතාවයක් සඳහා මාසික බිල් පතක් නිකුත් නොකෙරේ. තවද සාමාන්‍ය ‍යෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික මුදලක් ද අය නොකෙරේ. පෙර ගෙවීම් ක්‍රම කිහිපයකට කළ හැක. එවන් ගෙවීම රීචාජ් කිරීම, ටොප් අප් කිරීම වශයෙන්ද හැඳින්වේ. ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර අන්තර් ජාලය හරහා, දුරකථනය මගින්, SMS මගින් හෝ ඒජන්ත වෙළඳ සැලකට මුදල් ගෙවීමෙන් පෙරගෙවීම් කළ හැක. පෙ‍ර ගෙවූ සම්බන්ධතාවලදී එම ගෙවූ මුදල භාවිතා කිරීමට නියමිත කාලයක් ඇති අතර එම කාලය ඉක්මවීමට පෙර ගෙවූ මුදල සඳහා දුරඇමතුම් ලබා ගත යුතුය. පෙර ගෙවුම් සම්බන්ධතාවලදී යම් පහසුකම් සීමා කර ලබා දීමට ඉඩ ඇත. ජංගම දුරඇමතුම් අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් අතර පෙර ගෙවුම් සම්බන්ධතා ක්‍රමය ඉතා ජනප්‍රිය වී ඇත.

පසු ගෙවුම් සම්බන්ධතා සඳහා මාසික බිල් පතක් සැපයෙන අතර දුරඇමතුම් සඳහා කලින් ගෙවීමක් කළ යුතු නැත. මෙහිදී සාමාන්‍යයෙන් දුර ඇමතුම් ගාස්තුවට අමතරව මාසික ගෙවීමක් ද අඩංගුවේ.

112 හදිසි ඇමතුම් අංකය
112 අංකය GSM  හා 3G ජංගම දුරකථන සඳහා ලොව පුරා භාවිතා වන හදිසි ඇමතුම් අංකයයි. දුරකථනයක SIM කාඩ් පතක් නොමැති අවස්ථාවක, දුරකථනය බාධිත තත්වයේ (locked) ඇතිවිට, පෙර‍ ගෙවූ (prepaid) සම්බන්ධතාවයක මුදල් (credit) නොමැති වූ විට පවා බොහෝ අවස්ථාවලදී මෙම අංකය මගින් හදිසි ඇමතුම් ලබාගත හැක. ජංගම දුරකථන ජාලයක සංඥා ආවරණය ඇති ස්ථානයක සිට මෙම අංකය මගින් ගිලන් රථ සේවා, ගිනි නිවන සේවා වැනි හදිසි ආපදා සේවාවකට හෝ ලඟම ඇති පොලීසියට සම්බන්ධ විය හැක. මෙම අංකය භාවිතා කර ලබා ගන්නා ඇමතුම් අධීක්‍ෂණය කරන අතර මෙම පහසුකම අයථා හෝ අනවශ්‍ය පරිදි භාවිතා කිරීම නීති ‍විරෝධී වන අතර දඬුවමක‍ට හෝ දඩයකට යටත් විය හැකි වරදකි.

රෝමිං (Roaming)
‍රෝමිං යනුවෙන් දැක්වෙන්නේ ජංගම දුරකථනයක් එය අයිති ජංගම දුරකථන ජාලයට පිට වෙනත් ජංගම දුරකථන ජාලයක් (සාමාන්‍යයෙන් විදේශ රටකදී) හරහා සම්බන්ධතාව පවත්වා ගැනීමයි. රෝමිං මගින් විදේශ රටකදී පවා දුරඇමතුම් හා SMS යැවීමට හා ලබාගැනීමට තම මුල් දුරකථන අංකය භාවිතා කළ හැක.
බොහෝ රටවල ජංගම දුරකථන ජාලවලදී රෝමිං පහසුකම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී පි‍ටතින් පැමිණෙන ජංගම දුරකථන, එම රටේ ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. සමහර ජංගම දුරකථන ජාල වලට අයත් ජංගම දුරකථන සඳහා රෝමිං පහසුකම සක්‍රිය කිරීමට කලින් ගෙවීමක් හෝ විශේෂ දැනුම් දීමක් කළ යුතුය. රෝමිං සේවාව ක්‍රියාත්මක වීමට තම දුරකථනය අයත් ජංගම දුරකථන සමාගම විදේශ රටේ ජංගම දුරකථන සමාගම සමග ‍රෝමිං ගිවිසුමක් (roaming agreement) තිබිය යුතුය.

රෝමිං පහසුකම් ඇති දුරකථනයක් විදේශ රටකදී ක්‍රියාත්මක කළ විට ස්වයංක්‍රියව එම රටේ ඇති ජංගම දුරකථන ජාලයක් සමග සම්බන්ධ වේ. මෙසේ ස්වංක්‍රිය‍ව සමබන්ධවීමට අමතරව තමන්ට අවශ්‍ය ජංගම දුරකථන ජාලය තෝරා එයට සම්න්ධතාවය ඇති කර ගැනීමටද හැකියාව ඇත. ‍රෝමිං සේවාව නිසි පරිදි ක්‍රියා කර වීමට ජංගම දුරකථනය එය භාවිතා කරන රටේ ජංගම දුරකථන ජාලයක භාවිතයට අනුකූල වර්ගයේ දුරකථනයක් විය යුතුය. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ GSM ජංගම දුරකථන ජාල 1900 MHz තරංග මාලාව භාවිතා කරන අතර එය අනෙකුත් රටවල GSM ජංගම දුරකථන ජාල භාවිතා කරන 900/1800 MHz තරංග මාලාවට වඩා වෙනස්වේ. එම රටේ දී රෝමිං සේවාව ලබා ගැනීමට 1900MHz තරංග මාලාවට අනුකූල දුරකථනයක් භාවිතා කළ යුතුවේ.
මෙයට අමතරව විදේශ ර‍ටේදී ලබාගත් ජංගම දුරකථනයක් සමග තම ‍රටේ මුලින් භාවිතා කළ SIM කාඩ් පත් භාවිතයෙන්ද රොමිං සේවාව ලබාගත හැක.
රෝමිං පහසුකම සහිත ජංගම දුරකථනයක් සමග ග්‍රාහකයකු විදේශගතවූ විට එම දුරකථන අංකය‍ට ලැබෙන ඇමතුම් විදේශ රටේදීත් එම දුරකථනයටම ලැබෙන පරිදි නැවත හරවා (routed) යැවේ. එවන් අවස්ථාවල ලැබෙන ඇමතුම් සඳහා ජාත්‍යන්තර දුරකථන ගාස්තු ‍රෝමිං සේවාව භාවිතා කරන ග්‍රාහකයා දැරිය යුතුවේ. මෙසේ තම මුල් ‍රටෙන් ලැබෙන ඇමතුම් වල‍ට ජාත්‍යන්තර දුරකථන ගාස්තු සඳහා අධික මුදලක් ගෙවීම වැළැක්වීමට අවශ්‍ය නම් ‍ජංගම දුරකථනයේ ජාත්‍යන්තර ලැබෙන ඇමතුම් බාධිත (barring international incoming calls) තත්වයට පත් කළ හැක.
තම රටේ ජංගම දුරකථන අංකයක් සහිත විදේශයක ඇති රෝමිං දුරකථනයකට ලබා ගන්නා ඇමතුමකට (ජංගම හෝ ස්ථාපිත දුරකථනයකින්) ඇමතුම ලබාගන්නා පුද්ගලයාට වැයවන්නේ දේශීය දුරකථන ගාස්තුව පමණි.  රෝමිං සේවා සඳහා අධික දුරකථන ගාස්තු සහිත බිල්පත් ලැබිය හැකි අතර එය වැළැක්වීමට අවශ්‍ය නම් SMS සඳහා පමණක් රෝමිං සේවා ක්‍රියාත්මක කළ හැක. මෙහිදී විදේශගත වන විටදී දුරඇමතුම් සඳහා නොමැතිව SMS සඳහා පමණක් රෝමිං සේවා සක්‍රිය කළ යුතුය.


ජංගම දුරකථන තරංගමාලා (Mobile Phone Bands)
ජංගම දුරකථන ජාල එක් එක් වර්ගයේ දුරකථන ජාල මත හා පවතින රට මත වෙනස් තරංගමාලාවල ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාවේ, යුරෝපයේ හා අනෙකුත් රටවල GSM දුරකථන ජාල 900MHz තරංගමාලාවේ ක්‍රියාත්මක වේ. මෙයට අමතරව නාගරික ප්‍රදේශවල 1800MHz තරංගමාලාව ද GSM සඳහා භාවිතා වේ. ඇමරිකාවේ GSM දුරකථන ජාල 1900MHz තරංගමාලාවේ ක්‍රියා කරයි.
3G දුරකථන ජාල වැඩි වශයෙන්ම 2100MHz තරංගමාලාව භාවිතා කරයි. සමහර රටවල යම් දුරකථන ජාල(ඕස්ට්‍රේලියාවේ ටෙල්ස්ට්‍රා හා  ඇමරිකාවේ)  3G සඳහා 850MHz තරංගමාලාව භාවිතා කරයි. 900MHz තරංග මාලාවද සමහර රටවල 3G සඳහා භාවිතා කෙරේ.
තනි තරංගමාලා (single band) ජංගම දුරකථන එක් තරංගමාලාවකද, ද්විත්ව තරංගමාලා (dual band) දුරකථන තරංගමාලා දෙකකද, ත්‍රි-තරංගමාල (tri-band) දුරකථන තරංග මාලා 3 කද, සිව් තරංගමාලා (quad band) දුරකථන තරංග මාලා හතරකද ක්‍රියාකළ හැක. තරංගමාලා වැඩි ගණනක ක්‍රියාකරන දුරකථන විවිධ රටවල භාවිතා කිරීමේ හැකියාව වැඩිය.