Wednesday, December 29, 2021

ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය (Amateur Radio Communication)

රජයෙන් බලපත්‍ර ලබා ඇති ආධුනික ගුවන් විදුලි සන්නිවේදකයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර ගුවන් විදුලි තරංග මාලා ඔස්සේ කෙරෙන සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය නමින් හැඳින් වේ.




ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ගුවන් විදුලි තරංග ඔස්සේ පණිවිඩ සන්නිවේදනය කරමින් මිත්‍රත්ව ඇතිකර ගැනීම හා ගුවන් විදුලි ශිල්පය හා තාක්‍ෂණය
 යොදවා උපකරණ සෑදීම හා ක්‍රියා කිරීම සඳහා උපයෝගී කර ගැනේ. එය ව්‍යාපාරයක් වශයෙන් මුදල් උපයීමට හෝ හුදෙක් ලාභය තකා කරන ක්‍රියාවක් නොවේ.  මෙය ස්වයං පුහුණුව, අන්තර් සන්නිවේදනය හා තාක්‍ෂණ විමර්ශන කටයුතු සඳහා යොදා ගන්නා ක්‍රියාවලියකි.

ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය ලොව පතල හා ලොව පිලිගත් සේවයකි. ගුවන් විදුලි සංඥා ලබා ගැනීමට හා යැවීමට සහ අත්හදා බැලීමට ආධුනික ශිල්පීන්ට මෙය උපකාරී වේ. මෙයට අමතරව ස්වේච්ඡා සේවයක් වශයෙන් හා හදිසි ආපදා අවස්ථා වලදී ආධුනික ගූවන් විදුලි සන්නිවේදකයෝ තම සේවය මහජනතාවට ලබා දෙති.

ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නියැලීම සඳහා රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ එම බලපත්‍ර නිකුත් ක‍රන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම මගිනි. ලොව පුරා ආධුනික ගුවන් විදුලි සන්නිවේදන බලපත්‍රලාභීන් මිලියන 3 ක් පමණ සිටිති. ශ්‍රී ලංකාවේ සිටින ආධුනික ගුවන් විදුලි බලපත්‍රලාභීන් ගණන 200 ක් පමණ වේ. ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීහු තම නිවෙස් වල සිට ලොව පුරා සිටින තවත් ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ගුවන් විදුලි පණිවිඩ හුවමාරු කර ගනිති. මිත්‍රත්ව ගොඩනගා ගනිති. පණිවිඩ හුවමාරුවට පරිගණක, මෝස් සඥා ක්‍රමය පවා උපකාර කර ගනිති.  සමහර අවස්ථාවලදී අතේ ගෙන යා හැකි කුඩා සම්ප්‍රේෂණ උපකරණ, අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකා ද පණිවිඩ හුවමාරුව සඳහා උපකාර කර ගැනේ.

ආධුනික ගුවන් විදුලි ශිල්පය ලොවට හඳුන්වාදී වසර 100 කට වැඩිවන අතර එහි ඕනෑම වයස් කාණ්ඩයක, ඕනෑම වෘත්තියක් කරන අයට නියැලිය හැක. අවුරුදු 16 පමණ පාසැල් සිසුන් හා අවුරුදු 80 වයසැති විශ්‍රාමිකයෝ ද ඒ අතර සිටිති. ගුරුවරු, ශිෂ්‍යයින්, ගොවීන්, ගණකාධිකාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් යන සෑම පසුබිමකින්ම යුත් වෘත්තිකයෝ ඒ අතර වෙති. බාල වියේදී මෙය විනෝදාංශයක් වශයෙන් ආරම්භ කළ සමහර ශිෂ්‍යයෝ පසු කලෙක වෘත්තියෙන් ඉලෙක්ටෙ‍්‍රානික ඉංජිනේරුවන් බවට පත්වී සිටිති.

අධුනික ගුවන් විදුලි බලපත්‍රලාභී ලොව ප්‍රසිද්ධ වූ පුද්ගලයන් අතර ස්පාඤ්ඤයේ කාලොස් රජු, තායිලන්තයේ භූමිපාල් රජු, රජීව් ගාන්ධි, සෝනියා ගාන්ධි, ප්‍රථමයෙන් අභ්‍යවකාශයට ගිය යූරි ගගාරින්, නේපාලයේ බිරේන්‍ද්‍ර රජු හා ප්‍රසිද්ධ නළු මාර්ලන් බ්‍රැන්ඩෝ ද වෙති.

මෙම විනෝදාංශයේ නියැලෙන අය තම තමන්ගේ හැකියාව හා කැමැත්ත ඇති අංශ වල විශේෂඥ දැනුමක් පවා ලබති. සමහරු ඉලෙක්ට්‍රොනික පරිපථ සෑදීමද, තවත් සමහරු ඇන්ටෙනා සෑදීම ආදියද කරති. අද තිබෙන නවීන ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණයන් ජනිත කිරීමට සමහර ආධුනික ගුවන් විදුලි ශිල්පීන් දායක වී ඇත.

ආධුනික ගුවන් විදුලි ශිල්පී බලපත්‍රයක් ලබා ගැනීමට ඒ සඳහා පවත්වන විභාගය සමත් විය යුතුය. එම විභාගය ගුවන් විදුලි හා ඉලෙක්ට්‍රොනික සිද්ධාන්ත හා රෙගුලාසි වලින් සමන්විත වන අතර සමහර බලපත්‍ර කාණ්ඩ සඳහා මෝස් සංඥා පරීක්‍ෂණයකින්ද සමත් විය යුතුය. නීත්‍යානුකූලව ගුවන් විදුලි සම්ප්‍රේෂණ යන්ත්‍රයක් ක්‍රියාකරවීමට රජයෙන් ඒ සඳහා ලබාගත් වලංගු බලපත්‍රයක් තිබිය යුතුය. බලපත්‍රලාභීන්ට තමතමන්ගේ බලපත්‍ර කාණ්ඩයට අදාළ තරංග මාලාවල සම්ප්‍රේෂණ කටයුතු කළහැකි අතර තමන්ගේ සම්ප්‍රේෂණ යන්ත්‍ර නිර්මාණය‍ට, සෑදීමට, වැඩිදියුණු කිරීමට හා අලුත්වැඩියාවට එමගින් අවසර ලැබේ.

මෙම විනෝදාංශය පරතෙරටම කරන සමහරු චන්ද්‍රිකා භාවිතයෙන් පණිවිඩ හුවමාරුව, අන්තර්ජාලය හා සම්බන්ධව ගුවන්විදුලි තරංග භාවිතයෙන් පණිවිඩ හුවමාරුව පවා කරති. තවත් සමහරු අභ්‍යවකාශයට යන ගගනගාමීන් සමගද පෘථිවියේ සිට පණිවිඩ හුවමාරු කර ගනිති.

ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ‌ ක‍‍්ෂේත්‍රයේ පුරෝගාමීන් කල තාක්ෂණික දායකත්වය අද අප ප්‍රයෝජනයට ගන්නා නවීන තාක්ෂණවල දියුණුවට මහත්සේ උදව් වී ඇත. ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ක්ෂේත්‍රයේ නව නිපැයුම් සංවර්ධනයට ආධුනික ගුවන් විදුලි සන්නිවේදන පරීක්ෂකයන්ගේ කැපවීම මහඟු දායකත්වයක් සපයා ඇත. විදුලි සන්නිවේදන ක්ෂේත්‍රවල පරීක්ෂණ හා අත්හදාබැලීම් කිරීමට ආධුනික ගුවන් විදුලි ශිල්පය හරහා නොයෙකුත් අවස්ථා උදාවේ. ගුවන් විදුලි තරංග ප්‍රචාරණය (Radio Wave Propagation) සම්බන්ධ පරීක්ෂණ, GPS තාක්ෂණය, ඇන්ටෙනා තාක්ෂණය, ඩිජිටල් රේඩියෝ සන්නිවේදන තාක්ෂණ, චන්ද්‍රිකා තාක්ෂණය ආදියේ දියුණුවට ආධුනික ගුවන් විදුලි ශිල්පීන් මගින් සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇත.

ඩිජිටල් සන්නිවේදන තාක්ෂණ වල ව්‍යාප්තිය, ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ශිල්පීන්ට තාක්ෂණයේ නව මංමාවත් විවෘත කර ඇත. අන්තර්ජාල සම්බන්ධතා මගින් ආධුනික ගුවන් විදුලි සන්නිවේදනයේ නව තාක්ෂණික ක්‍රමෝපායන් එළිදක්වා ඇත. දැන් ලොව නෑම තැනක සිට, ‌ෙබාහෝ රටවල ඇති ආධුනික ගුවන්විදුලි ප්‍රතිවිකාශක මධ්‍යස්ථාන (amateur radio repeaters) සමග අන්තර්ජාලය හරහා සම්බන්ධවීමට බලපත්‍රලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්ට අවස්ථාව ලැබී ඇත.

1961 වසරේ සිට ආධුනික ගුවන් විදුලි ශිල්පීන් විසින් ආධුනික ගුවන් විදුලි පණිවිඩ හුවමාරුව සඳහා චන්ද්‍රිකා 50කට වැඩි ගණනක් නිපදවා ඇති අතර තවත් චන්ද්‍රකා ගණනාවක් ඉදිරියේදී නිපදවීමට සැළසුම් කර ඇත. මෙවැනි චන්ද්‍රිකා OSCAR (Orbiting Satellite Carrying Amateur Radio) නමින් හැඳින්වෙන අතර, බලපත් ලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්ට මෙම චන්ද්‍රිකා හරහා කථන හා දත්ත (voice & data) සන්නිවේදනයට පහසුකම් සැලසේ.                                                  

ආධුනික ගුවන් විදුලි ශිල්පය හුදෙක් විනෝදාංශයක් වශයෙන් පමණක් නොව මහජනතාවට සේවය සැපයීම සඳහාද භාවිතා කෙරේ. ආපදා අවස්ථාවල දී සාමාන්‍ය සන්නිවේදන පද්ධති අඩාල වූ විට ආධුනික ගුවන් විදුලි ශිල්පීහු ස්වේච්ඡාවෙන්ම තම සේවය ලබා දෙති. 2004 වසරේ ඇතිවූ සුනාමී ඛේදවාචකයේදී දුරකථන හා පණිවිඩ සන්නිවේදන පද්ධති අඩපණ වූ විට ආපදා සහන කටයුතු සම්බන්ධීකරණයට අවශ්‍ය පණිවිඩ හුවමාරු කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ආධුනික ගුවන් විදුලි ශිල්පීහු තම උපකරණ හා සේවය සැපයී‍මෙන් මහඟු සේවයක් කළහ.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සමාජය (The Radio Society of Sri Lanka – RSSL )

ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන්ගෙන් සැදුම්ලත් මෙම සංගමය 1950 දී පිහිටුවන ලදී. එය ලොව පුරා විවිධ රටවල ජාතික ආධුනික ගුවන් විදුලි සංගමයන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තර ආධුනික ගුවන් විදුලි සංගමය‍ (IARU -International Amateur Radio Union) නියෝජනය කරන ශ්‍රී ලංකික ආධුනික ගුවන් විදුලි සංගමයයි. 

ජාත්‍යන්තර ආධුනික ගුවන් විදුලි සංගමය‍, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU - International Telecommunication Union) නිරීක්ෂක සාමාජික තත්වය උසුලනු ලැබේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය, සමාගම් පණත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථා ගතකර ඇත. ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය ගැන උනන්දුවක් දක්වන ඹ්නෑම අයකුට මෙහි සාමාජිකත්වය ලබාගත හැක. සම්ප්‍රේෂණ බලපත්‍රලාභීන්ට පූර්ණ සාමාජිකත්වය ලැබෙන අතර අන් අයට ආශ්‍රිත සාමාජිකත්වය ලබා ගත හැක. පාසැල් සිසුන්ට ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත හැක. නවක සාමාජිකයන්ට තම සම්ප්‍රේෂණ බලපත්‍රය ලබා ගැනීමට මෙම සංගමයේ හා එහි සාමාජිකයන්ගේ සහාය ලබාගත හැක. බලපත්‍රලාභීන්ගේ අයිතීන් හා ගැටලු සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම හා ආරක්‍ෂක අමාත්‍යංශය සමග කටයුතු කිරීම සංගමයෙන් ඉටුවන වැදගත් ක්‍රියාවකි. මසකට වරක් සංගමයේ සාමාජිකයන් හමුවන අතර සාමාජිකයන් අතර දැනුම හා සුහදතාව වර්ධනය කිරීම‍ට ක්‍ෂේත්‍ර චාරිකා, විනෝද ගමන්, වැඩමුලු ආදිය සංවිධානය සංගමය මගින් සිදු කෙරේ. සියලු

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය, යටියන්තොට, දෙනියාය හා පිදුරුතලාගල VHF තරංගමාලාවේ ප්‍රතිසම්ප්‍රේෂණ මධ්‍යස්ථාන පිහිටුවා ක්‍රියාත්මක කරන අතර එමගින් එම තරංගමාලාවේ ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය කිරීම වැඩි ප්‍රදේශයකට ව්‍යප්ත කිරීමේ හැකියාව ලැබී ඇත.

ලෝකයේ ඔනෑම ස්ථානයක සිට, අධි සංඛ්‍යාත (High Frequency) රේඩියො සන්නිවේදන සේවා භාවිතයේදී අවශ්‍ය අයනගෝලයේ රේඩියෝ තරංග ප්‍රචාරණය (ionospheric propagation) තත්වය පිළිබඳව ඔනෑම අවස්ථාවක දැනගැනීම සඳහා, ලොව පුරා අධි සංඛ්‍යත සංඥා මධ්‍යස්ථාන (HF Radio Beacons) 18 ක් පිහිටුවා ඇති අතර, එයින් එක් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය මගින් එහි ක්‍රියාකාරිත්වය හා නඩත්තුව පිළිබඳ වගකීම දරනු ලැබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගම‌‌යේ අන්තර්ජාල වෙබ් අඩවිය www.rssl.lk ට පිවිසීමෙන් වැඩි විස්තර ලබා ගත හැක.

 

හදිසි ආපදා සඳහා ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය

ආධුනික ගුවන් විදුලි ශිල්පය විනෝදාංශයක් වශයෙන් පමණක් නොව එය වෙනත් සන්නිවේදන ක්‍රම බිඳ වැටුන අවස්ථාවලදී ආපදා සහන කටයුතු සඳහා ද යොදවා ගත හැක. සුළි සුළං, භූ කම්පන, ජල ගැලුම් ආදී ස්වාභාවික ආපදා තත්ව වලදී අප ඒදිනෙදා භාවිතා කරන සන්නිවේදන පහසුකම් අඩපණ විය හැක. එවන් අවස්ථාවල සන්නිවේදන පහසුකම් සළසා දීමෙන් ආධුනික ගුවන් විදුලි ශිලපීන් ආපදා කළමනාකරණ කටයූතු වලට තම දායකත්වය ස්වේඡ්ඡාවෙන් ලබා දීමටන සූදානම්ව සිටී. ආධුනික ගුවන් විදුලි ශිල්පීන්ට තමන්ට අයත් ආධුනික ගුවන් විදුලි සන්නිවේදන උපකරණ යොදවා ඉතා ඉක්මනින් (විදුලි බලය නොමැති අවස්ථාවල පවා) ආපදා සහන ගුවන් විදුලි සන්නිවේදන පහසුකම් සැළසීමට හැකියාව ඇත.

බොහෝ සන්නිවේදන පද්ධතිවල ක්‍රියාකාරිත්වයට විදුලි බලය අවශ්‍ය වන අතර මෙවන් සන්නිවේදන පද්ධතිවල ක්‍රියාකාරිත්වය එකිනෙක හා සහසම්බන්ධිත තවත් පද්ධතිවල ක්‍රියාකාරිත්වය මත රඳා පවතී. එවන් එක් පද්ධතියක හෝ සථානයක විසන්ධිවීමක් හෝ අක්‍රියවීමක් මගින් මුළු සන්නිවේදන පද්ධතියම අක්‍රිය කළ හැක. මේ හා සැසඳීමේදී ආධුනික ගුවන් විදුලි සන්නිවේදන උපකරණ බැටරි වලින් පවා ක්‍රියා කරවිය හැකි අතර වෙනත් අතරමැදි සම්බන්ධතාවයක් නොමැතිව අවශ්‍ය ස්ථානවලට ඉක්මණින් යොදවා සන්නිවේදන පහසුකම් සැළසීමේ හැකියව ඇත.

1991දී ෆින්ලන්තයේ ටැම්පරේ නගරයේදී ප්‍රකාශිත ආපදා කළමනාකරණ සන්නිවේදනය සඳහා වන ටැම්පරේ සම්මුතියෙන් (Tampare convention) ආපදා සහන සන්නිවේදන කටයුතු වලට ආධුනික ගුවන් විදුලි සේවා වල උපකාරය ලබා ගැනීම දිරිමත් කර ඇත. 2003 වසරේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ රැස්වූ ගෝලීය ගුවන් විදුලි සන්නිවේදන සමුඵවේදී (WRC - World RadioCommunication Conference) ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU - International Telecommunication Union) මගින් ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය, ආපදා සහන සන්නිවේදන කටයුතුවල සහය සේවාවක් ලෙස ගුවන් විදුලි සන්නිවේදන රෙගුලාසි (Radio Regulations) වලට ඇතුලත් කරන ලදී.

 

සුනාමි ආපදා සහන ආධුනික ගුවන් විදුලි සන්නිවේදන ජාලය

2004 දෙසැම්බර් සුනාමි ‌ෙඛ්දවාචකය සිදුවීමෙන් අනතුරුව මහා පරිමාණයේ ආපදා සහන ක්‍රියාන්විතයක් ආරම්භ විය. විපතට පත් ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් බිඳ වාටීම මෙම ආපදා සහන සන්නිවේදන ක්‍රියන්විතයට බලවත් බාධකයක් විය. එම ප්‍රදේශවල දුරකථන හුවමාරු මධ්‍යස්ථාන හා රුහැන් පද්ධතිවල ජල ගැලුම් නිසා හානියට පත්වී තිබුණි. ජංගම දුරකථන ජාලද අක්‍රිය ව පැවතුනි.  විදුලි බල පද්ධතියේ බිඳ වැටුම් නිසා හානියට පත් නොවී තිබූ සන්නිවේදන ජාල පද්ධති උපකරණ ක්‍රියා නොකරන තත්වයට පත්වී තිබුණි.

විපතට පත් ප්‍රදේශවල ආපදා සහන සේවා වලට අවශ්‍ය සන්නිවේදන පහසුකම් සැපයමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය (RSSL), එහි සාමාජික බලපත්‍ර ලාභී ආධුනික ගුවන් විදුලි ශිල්පීන් සමග ක්‍රියන්විතයක් දියත්කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) හා අග්‍රාමාත්‍ය කාරයාලයේ සම්බන්ධීකරණයෙන් මෙම ආපදා සන්නිවේදන ජාලය පිහිටුවන ලදී. සුනාමි ව්‍යසනයෙන් පැය කිහිපයක් ඇතුලත, අග්‍රාමාත්‍ය කාරයාලයේ උපදෙස් පරිදි හම්බන්තොට සිට කොළඹට සන්නිවේදන සම්බන්ධතාවයක් ස්ථාපනය කරන ලදී. කොළඹ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවන ලද අතර හම්බන්තොට සන්නිවේදන මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවන ලදී.

ආධුනික ගුවන් විදුලි ශිල්පීන් විසින් ස්ථාපනය කරන ලද මෙම අධි සංඛ්‍යාත (High Frequency) ගුවන් විදුලි සම්බන්ධතාවය කොළඹ හා හම්බන්තොට අතර ආපදා සහන සම්බන්ධීකරණ පණිවිඩ හුවමාරුව සඳහා යොදා ගැනුනි. සාමාන්‍ය සන්නිවේදන පහසුකම් යථා තත්වයට පත්කරන තුරු, හම්බන්තොට ප්‍රදේශය සමග සම්බන්ධවීමට තිබූ එකම මාර්ගය මෙම සන්නිවේදන සම්බන්ධතාවය පමණක් විය, මෙයට අමතරව ගාල්ල හා මාතර ප්‍රදේශවල සිටද සන්නිවේදන පහසුකම් සැපයූ අතර තවත් ජංගම සන්නිවේදන කණ්ඩායමක් කොළඹ සිට දික්වැල්ල දක්වා ගමන් කරමින් සිදුවී ඇති විනාශය ගැන තොරතුරු සපයන ලදී.

ජර්මනියේ බෑඩ් බෙන්තීම් (Bad Bentheim) නගරය, මානුෂීය කටයුතු සඳහා තාක්ෂණය යොදා කළ කැපී පෙනෙන සේවයක් කළ ආධුනික ගුවන් විදුලි ශිලපියකුට හෝ කණ්ඩායමකට, ස්වර්ණමය ඇන්ටෙනාව (Golden Antenna) නම් සම්මානයක් පුදනු ලැබේ. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ස්ථාපනය කළ ආපදා සහන ගුවන් විදුලි සන්නිවේදන ජාලය වෙනුවෙන් තම ශ්‍රමය හා කාලය කැපකිරීම වෙනුවෙන් මෙම සම්මානය 2005 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමයට පිරිනමනු ලැබීය.

2017 ජල ගැලුම් ආපදා සහන සන්නිවේදන සේවය

2017 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ජල ගැලුම්වලදී ආපදා සහන සේවා කටයුතුවලට අවශ්‍ය සන්නිවේදන සේවා පහසුකම් සැපයීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගය සහිතව ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගමයේ සාමාජික ආධුනික ගුවන් විදුලි ශිල්පීන් කණ්ඩායම් දෙකක් කලවාන හා රත්නපුර ප්‍රදේශවලට ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යොදවා ගුවන් මගින් ගෙනගොස් එම ප්‍රදේශවල සන්නිවේදන මධ්‍යස්ථාන ස්ථාපනය කරන ලදී. සාමාන්‍ය සන්නිවේදන සේවා අඩපණව තිබූ බැවින් මෙම සන්නිවේදන මධ්‍යස්ථාන හරහා දින 3ක් තුල ආපදා සහන සේවා වලට අවශ්‍ය පණිවිඩ හුවමාරු කටයුතු සිදු කරන ලදී.

 ආධුනික ගුවන් විදුලි බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාදාමය

මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) මගින් පවත්වන විභාගය සමත් විය යුතුය. එය සමත් වූ පසු ආරක්‍ෂක අමාත්‍යංශ‍යේ අනුමැතියට යටත්ව බලපත්‍රයක් ලබා ගත හැක. බලපත්‍ර ගාස්තුව වසරකට රු. 50 100 දක්වා අදාළ බලපත්‍ර කාණ්ඩය මත වෙනස්වේ.

මෙම විභාගය පැවැත්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණි. විභාග අයදුම් පත්‍ර රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරේ.  වැඩි විස්තර පහත ලිපිනයෙන් ලබා ගත හැක.

විදුලි සංදේශ නියාමන කොමිසම (TRC)      276   ඇල්විටිගල මාවත,   කොළඹ 8.

අන්තර්ජාල වෙබ් අඩවිය : www.trc.gov.lk

 

ආධුනික ගුවන් විදුලි බලපත්‍ර පරීක්‍ෂණය

මෙම විභාගය සඳහා මට්ටම් තුනකින් විභාගය පැවැත්වේ. ඉලෙක්ට්‍රොනික හා ගුවන්විදුලි සන්නි‍වේදන තාක්‍ෂණය සහ ආධුනික ගුවන්විදලි සන්නිවේදනයේ රෙගුලාසි මාලාවන් ගැන ප්‍රශ්නවලින් මෙ‍ම විභාගය පැවැත්වේ.

 

බලපත්‍ර කාණ්ඩ

නවක  (Novice Class)
මෙ‍ම කාණ්ඩයේ විභාගය සැකසී ඇත්තේ බහුවරණ ප්‍රශ්න වලිනි.

සාමාන්‍ය (General Class)                                                                                                                         
මෙම කාණ්ඩයට බහුවරණ ප්‍රශ්න සහිත විභාගයක් පැවැත්වේ. VHF. UHF හා HF තරංගමාලා භාවිතයට මෙම බලපත්‍ර කාණ්ඩය මගින් අවසර ඇත.

උසස් (Advanced Class)                                                                                                                                  
මෙම කාණ්ඩයේ බලපත්‍ර පරීක්‍ෂණයට ලිඛිත පරීක්‍ෂණයක් හා විනාඩියක‍ට වචන 5ක මෝස් සංඥා පරීක්‍ෂණයක් අයත් වේ. UHF. VHF හා HF තරංගමාලා වල වැඩි බලයකින් යුක්ත සම්ප්‍රේෂණ උපකරණ ක්‍රියා කිරීමට මෙමගින් අවසර ඇත.

(UHF හා VHF තරංගමාලා කෙටි දු‍ර පණිවිඩ හුවමාරුවට යොදා ගැනේ. HF තරංගමාලා මගින් විශාල දුරකට, වි‍දේශ රටවලට ප‍වා පණිවිඩ සම්ප්‍රේෂණය කළ හැක.)


ශ්‍රී ලංකාවේ ආධුනික ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වන facebook සමූහය - 



                                                                     © කුසල් ඈපා  - 30/12/2021