Saturday, April 13, 2019

ADSL



ADSL (Asymmetric Digital Subscriber Line) යනුවෙන් දැක්වෙන්නේ රැහැන් සහිත ස්ථාපිත දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්‍ෂණයකි. ADSL තාක්‍ෂණය භාවිතයෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගත හැක. මෙම තාක්‍ෂණය මගින් එකවර දුරකථන මාර්ගයක දුරඇමතුමක යෙදී සිටියදීම අන්තර්ජාලය සැරිසැරීමට ද අවස්ථාව ලැබේ. ADSL භාවිතයෙන් ලැබෙන දත්ත සන්නිවේදන වේග ඩයලිත (dialup) සම්බන්ධතාවයකින් ලැබෙන දත්ත සන්නිවේදන වේගයට වඩා බෙහෙවින් වැඩිය. ADSL සම්බන්ධතාවයක් සඳහා සාමාන්‍යයෙන් මාසික ගාස්තුවක් අය කෙරෙන අතර එමගින් දිනක පැය 24 පුරාම අන්තර්ජාල ප්‍රවේශය ලබා ගත හැක. ඩයලිත සම්බන්ධතාවයක මෙන් දුරකථන මාර්ගය භාවිතා වන කාලය සඳහා වෙනම ගාස්තුවක් මෙහිදී අය නොකෙරේ.
සාමාන්‍ය දුරකථන ඇමතුමකදී මිනිස් කටහඬ සහිත සංඥා 0-3400Hz සංඛ්‍යාත පරාසය තුල සන්නිවේදනය කෙරේ. ස්ථාපිත රැහැන් සහිත දුරකථන ජාල මෙම 0-4000Hz සංඛ්‍යාත පරාසයේ සංඥා ප්‍රවාහනය කළ හැකි වන සේ නිර්මාණය කෙරුනි.  මෙම සංඛ්‍යත පරාසයට ඉහළින් ඇති, දුරඇමතුමක සංඥා සන්නිවේදනයට භාවිතා නොකෙරෙන සංඛ්‍යාත පරාසය දුර ඇමතුමකට අමතරව දත්ත සන්නිවේදනය සඳහාද යොදා ගත හැකි බව පසුව තහවුරු විය. ADSL තාක්‍ෂණ‍යේදී මෙම ඉහළ සංඛ්‍යතා පරාසය දත්ත සන්නිවේදන කටයුතු සඳහා යොදා ගැනේ.


                                                                     ADSL සංඥා සංඛ්‍යාත සටහන


උඩු හා යටි සබඳතා (uplink & downlink)
උඩු සබඳතාවය යනුවෙන් දැක්වෙන්නේ පරිගණකයක සිට අන්තර්ජාලය වෙත සිදුවන දත්ත සන්නිවේදනයයි. යටි සබඳතාවය යනුවෙන් දැක්වෙන්නේ අන්තර්ජාලයේ සිට පරිගණකය වෙත සිදුවන දත්ත සන්නිවේදනයයි. ADSL මගින් දුරකථන හුවමාරු මධ්‍යස්ථානයයේ සිට උඩු හා යටි සබඳතා සඳහා තරංග පරාස දෙකක් භාවිතා කෙරේ. ADSL තාක්‍ෂණයේදී යටි සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගය උඩු සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගයට වඩා බෙහෙවින් වැඩිය.
අන්තර්ජාලය සැරිසැරීමේදී උඩු සබඳතාවය තුලින් සුළු දත්ත ප්‍රමාණයක් සන්නිවේදනය කෙරේ. වෙබ් පිටුවක් අන්තර්ජාලයෙන් ඉල්ලීමට අවශ්‍ය දත්ත පැකට් කිහිපයක් යැවීම මෙයට එක් උදාහරණයකි. එසේ ඉල්ලීමක් කළ වෙබ් පිටුවල ඇති දත්ත යටි සබඳතාවය තුලින් ප්‍රවාහනය කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් පරිගණකයට අන්තර්ජාලයෙන් ලැබේ. මේනිසා ADSL හි උඩු හා යටි සබඳතා වල ඇති වෙනස් දත්ත සන්නිවේදන වේග අන්තර්ජාලය සැරිසැරීමට බෙහෙවින් යෝග්‍ය වේ.
ADSL තාක්‍ෂණය මගින් උඩු/යටි සබඳතා සඳහා 64/256kbps  සිට 1/8Mbps දක්වා දත්ත ප්‍රවාහන වේග සැපයිය හැක. ලබාගන ඇති ADSL සම්බන්ධතාවය අනුව මෙම සන්නිවේදන වේග දුරකථන සමාගම මගින් සීමා කර ලබා දේ. (ඩයලිත සම්බන්ධතාවයකදී ලබා ගත හැකි උපරිම උඩු/යටි සබඳතා වේග 33/56kbps වේ.)

දුරකථන මාර්ග  වල තත්වය
ADSL තාක්‍ෂණය සඳහා දුරකථන රැහැන් භාවිතා කරන හෙයින් එම රැහැන් වල තත්වය දත්ත සන්නිවේදන වේග කෙරෙහි දැඩි බලපැමක් ඇති කරයි. වැඩි විෂ්කම්භයකින් යුත් රැහැන් වලින් වැඩි දුරකට වැඩි වේග වලින් දත්ත සන්නිවේදනය කළ හැක. හොඳින් සවි නොවූ හා බාල තත්වයේ සන්ධි (joint), පැරණි සන්ධි හා රැහැන්, මලකඩ හා ඔක්සයිඩ බැඳුන සන්ධි ආදියෙන් දත්ත සන්නිවේදන වේග අඩාල කෙරේ.
සාමාන්‍යයෙන් දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සිට 6km පමණ දුරකට දුරකථන මාර්ග ඔස්සේ ADSL සේවා ලබාගත හැක. මෙම දුර වැඩිවත්ම  දත්ත සම්බන්ධතාවයේ වේගය හා තත්වය අඩුවීමක් දක්නට ලැබේ. මෙයට අමතරව දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට ප්‍රකාශ තන්තු (fibre) කේබල යම් දුරකට යොදවා එතැන් පටන් දුරකථන රැහැන් භාවිතා කිරීමෙන් වැඩි දුරකට වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දෙන ක්‍රමයක් ද දැනට භාවිතා වේ.

ADSL සේවා ලබාගැනීම සඳහා මූලික අවශ්‍යතා

·         ස්ථාපිත රැහැන් සහිත දුරකථන සම්බන්ධතාවයක්
·         සම්බන්ධවී ඇති දුරකථන හුවමාරු මධ්‍යස්ථානය මගින් ADSL සේවා ලබාදීමට හැකිවීම
·         දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට පරිශ්‍රයට ඇති දුර 6km ට වඩා අඩුවීම (ප්‍රකාශ තන්තු කේබල භාවිතයෙන් මෙම දුර මෙයට වඩා වැඩි කර ගත හැක), මෙයට වඩා වැඩි දුරක් ඇත්නම් ADSL සේවය ලබාගැනීමට හැකිදැයි දැනගැනීමට රැහැන් පරීක්‍ෂණයක් (line test) කළ යුතුය. මෙම දුර ප්‍රමාණය වැඩිවත්ම ලැබෙන ADSL සේවාවේ තත්වය හා දත්ත සන්නිවේදන වේග අඩුවේ.
·         ADSL මෝඩමයක්

ඉහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ වේ නම් ADSL සේවා සඳහා ලියාපදිංචි වී ඒ සඳහා ගෙවීම් කළ පසු ADSL සම්බන්ධතාවය ලබාගත හැක.

ADSL  සේවා පැකේජ
ADSL සේවා විවිධ රටවල විවිධ පැකේජ යටතේ වෙනස් දත්ත සන්නිවේදන වේග හා දත්ත පරිමා සඳහා ලබා දේ. මෙම පැකේජ වල මිල ගණන් උඩු හා යටි සබඳතා වේග හා බාගත කළ හැක දත්ත පරිමා මත රඳා පවතී. දළ වශයෙන් ADSL සේවා පැකේජ වර්ග තුනකින් සැපයේ.

1.      යම් දත්ත සන්නිවේදන වේගයකින් මාසයකට සීමා රහිත දත්ත පරිමාවක් සඳහා
2.      යම් දත්ත සන්නිවේදන වේගයකින්, මසකට සීමිත දත්ත පරිමාවක් සඳහා, මෙම දත්ත පරිමාව ඉක්ම වූ පසු දත්ත සන්නිවේදන වේගය එම මාසය නිමාවනතුරු අඩු වේගයකට සීමා කෙරේ.
3.      යම් දත්ත සන්නිවේදන වේගයකින්, මසකට සීමිත දත්ත පරිමාවක් සඳහා, මෙම දත්ත පරිමාව ඉක්ම වූ පසු බාගත කරන දත්ත සඳහා අමතර ගෙවීමක් කළ යුතුවේ.

ADSL මෝඩම
ADSL මෝඩම ඩයලිත මෝඩම වලට වඩා මිලෙන් වැඩි ය. ADSL මෝඩම වර්ග කිහිපයකි. ADSL USB  මෝඩමයක් පරිගණකයේ USB තොටට (port) මගින් සම්බන්ධ කෙරේ. ADSL මෝඩම් රවුටරයක් පරිගණකයට සම්බන්ධ කෙරෙන්නේ ඊතර්නෙට් (Ethernet) කේබලයක් මගින් ඊතර්නෙට් තොට සමගය. සමහර ADSL මෝඩම වල USB හා ඊතර්නෙට් සම්බන්ධතා දෙකටම පහසුකම් ඇත. ADSL සම්බන්ධතාවයකට එකවර පරිගණක එකකට වඩා වැඩිගණනක් සම්බන්ධ කිරීමට අවශ්‍ය වූ අවස්ථාවල රවුටර් පහසුකම් සහිත ADSL මෝඩමයක් හෝ වෙනම රවුටරයක් භාවිතා කළ හැක. මෙවැනි ADSL රවුටර් වල සාමාන්‍යයෙන් ඊතර්නෙට් තොට 4ක් ඇත. වයිෆයි පහසුකම් සහිත ADSL මෝඩම්ද ලබාගත හැකි අතර මෙහිදී පරිගණක එකකට හෝ වැඩි ගණනකට රැහැන් රහිතව ADSL මෝඩමය හා වයිෆයි මගින් සම්බන්ධ විය හැක. ADSL සේවය ලබාගැනීමට ADSL මෝඩම නිසි පරිදි වින්‍යාස (configure) කළ යුතුවේ. ADSL සේවාව සපයන ආයතනය මගින් සපයන පරිශීලක නාමය (user name) හා මුරපදය (password) ADSL මෝඩමයට ඇතුළු කිරීමෙන් එය වින්‍යාස කළ යුතුය.

ADSL ෆිල්ටර්/ස්ප්ලිටර් (ADSL filter/splitter)
ADSL පහසුකම සහිත දුරකථන මාර්ගයකට දුරකථනයක් සම්බන්ධ කිරීමේදී දුරකථනයට පෙර ADSL ස්ප්ලිටරයක් හෝ ෆිල්ටර්යක් යෙදිය යුතුය. දුර ඇමතුමකදී ADSL සංඥා මගින් ඇතිවන ඝෝෂාව අවම කිරීම හා දුර ඇමතුම විසන්ධි වීම වැළැක්වීම මෙහි අරමුණයි. ADSL ෆිල්ටර්, මයික්‍රෝ ෆිල්ටර් (micro filter) යනුවෙන්ද හැඳින්වේ. ADSL ස්ප්ලිටර්/ෆිල්ටර් මගින් දුර ඇමතුමේ සංඥා ADSL සංඥා වලින් වෙන් (isolate) කෙරේ. ADSL ස්ප්ලිටර්/ෆිල්ටර් කුඩා ප්ලාස්ටික් පෙට්ටියක හැඩයක් ගන්නා අතර ඒ තුල ඉලෙක්ට්‍රොනික පරිපථයක් ඇත.



                     
                                           ADSL සම්බන්ධතාවයක උපකරණ, ස්පිලිටර්/ෆිල්ටර් සම්බන්ධ වන අයුරු


ADSL2
ADSL2 මගින් ADSL තාක්‍ෂණය වැඩි දියුණු කිරීමෙන් වැඩි දත්ත සන්නිවේදන වේග ලබා දේ. 12Mbps හා 3.5Mbps දක්වා යටි හා උඩු සබඳතා වේග ADSL2 මගින් ලබා දිය හැක.

ADSL2+
ADSL2+ සේවා මගින් 24Mbps හා 3.5Mbps දක්වා යටි හා උඩු සබඳතා වේග ලබාදිය හැක. මෙම දත්ත සන්නිවේදන වේග දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට පරිශ්‍රයට ඇති දුර, භාවිතා කරන ADSL මෝඩමයේ වර්ගය, දුරකථන මාර්ගයේ තත්වය ආදිය මත රඳා පවතී. ADSL2+ හි ඇති වැඩි වේග ලබා ගැනීමට නම් භාවිතා කරන ADSL මෝඩමයද ADSL2+ වර්ගයේ මෝඩමයක් විය යුතුය.
ADSL2+ හිදී ADSL වල සංඥා සඳහා භාවිතා කරන සංඛ්‍යාත පරාසය වන 1.1MHz මෙන් දෙගුණයක එනම් 2.2MHz දක්වා සංඛ්‍යාත පරාසයක් සංඥා ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. ADSL2+ මෝඩම ADSL සමග පසු ගැලපුම් වන (backward compatible) වන නිසා ADSL සේවා සමගම භාවිතා කළහැක. ADSL2+ සඳහා විශේෂිත වූ වැඩි සංඛ්‍යාත පරාසයකට අනුකූලව ක්‍රියා කරන ෆිල්ටර් ඇති අතර ADSL2+ සේවයේ දී දුරකථන සඳහා එම ෆිල්ටර් යොදාගත යුතුය. සාමාන්‍ය ADSL ෆිල්ටර ADSL2+ සේවා වලදී භාවිතා කළ හැකි වුවත් මෙහිදී නිසි ක්‍රියාකාරිත්වයේ අඩුවක් විය හැක.

දත්ත සන්නිවේදන සම්බන්ධතාවයේ වේගය හා දත්ත සාධික ප්‍රමාණය (data throughput)
ADSL සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය හා දත්ත සාධික ප්‍රමාණය අතර විශේෂ වෙනස් කමක් ඇත. ADSL සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය යනුවෙන් දැක්වෙන්නේ පරිගණකය හා දුරකථන හුවමාරු මධ්‍යස්ථානය අතර සම්බන්ධතාවයේ දත්ත සන්නිවේදන වේගයයි. අන්තර්ජාලය සැරිසරන අවස්ථාවල දත්ත බාගත කිරීමේදී මෙම වේගයට අඩු දත්ත සාධික ප්‍රමාණයක් ලැබේ. මෙය කරුණු කිහිපයක් මත රඳා පවතී. ජාත්‍යන්තර අන්තර්ජාල සම්බන්ධතාවයේ හා සම්බන්ධ වී ඇති සර්වරයේ අන්තර්ජාල සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය හා තදබදය (congestion), එම අවස්ථාවේ එම සර්වරයට සම්බන්ධවී ඇති පරිගණක ප්‍රමාණය ආදිය මත මෙම දත්ත සාධික ප්‍රමාණය රඳා පවතී.

පියවි DSL (Naked DSL)
පියවි DSL යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථන සමාගමකින් දුරකථන රැහැන් යොදා දුරකථන සම්බන්ධතාවයකින් තොරව ADSL සේවා පමණක් සැපයීමයි. රටවල් ගණනාවක දුරකථන සමාගම් මෙවන් පියවි DSL සේවා ලබා දෙන අතර ග්‍රාහකයන්ට දුරකථන සම්බන්ධතාවයක් හා ඒ ආශ්‍රිත මාසික ගෙවීමෙන් තොරව ADSL සේවාව සඳහා පමණක් ගෙවීමෙන් මෙම සේවාව ලබාගත හැක. මෙවන් අවස්ථාවක ග්‍රාහකයකුට අවශ්‍යනම් IP/SIP දුරකථනයක් ADSL රවුටරයට සම්බන්ධ කර සාමාන්‍ය දුරකථන සේවාවලට වඩා අඩු මුදලකට IP දුරකථන සේවය ලබාගැනීමට අවකාශ ඇත.

XDSL
DSL සේවා මගින් ADSL සේවාවලට වඩා වෙනස්ව උඩු හා යටි සබඳතා සඳහා එකම දත්ත සන්නිවේදන වේගයක් සහිතව සන්නවේදන සම්බන්ධතා ලබාගත හැක. DSL තාක්‍ෂණ කිහිපයක් XDSL යනුවෙන් පොදුවේ හඳුන්වනු ලැබේ. VDSL (Very High Speed Digital Subscriber Line), VDSL2, HDSL (High Data rate Digital Subscriber Line), HDSL2, SDSL(Symmetric Digital Subscriber Line) ආදිය මෙම XDSL සේවා අතර වේ. දුරකථන සමාගම් මගින් XDSL සේවා වැඩි වශයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා ආයතන වෙත සපයනු ලැබේ.


                                                                            © කුසල් ඈපා