වයිමැක්ස් (WiMax – Wordwide Interoperability
for Microwave Access) යනුවෙන්
හැඳින්වෙන්නේ රැහැන් රහිතව රේඩියෝ තරංග මගින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේ තාක්‍ෂණයකි.
එමගින් කෙරෙන දත්ත සන්නිවේදනය පුළුල් කලාපීය අන්තර්ජාල (broadband
Internet) පහසුකම් ලබාගැනීමට භාවිතා කළ
හැක. එහි වින්‍යාසය ජංගම දුරකථන ජාලයකට සමානතාවයක් දක්වයි. වයිමැක්ස් සම්ප්‍රේෂණ
මධ්‍යස්ථාන හා ආශ්‍රිත කුළුනු මගින් සම්ප්‍රේෂණ ආවරණය සපයන අතර ස්ථාපිත හෝ ජංගම
වයිමැක්ස් උපකරණ මගින් සම්ප්‍රේෂණය වන සංඥා ග්‍රහණය කර ගැනේ. ග්‍රාහක උපකරණ අතර
ජංගම ආන්ත උපකරණ (mobile terminals),
වයිමැක්ස් ග්‍රාහක පහසුකම් සහිත හෝ එම පහසුකම සහිත උපකරණයක් සවිකළ පරිගණක ආදිය වේ. කේබල
මගින් පුළුල් කලාපීය අන්තර්ජාල (broadband internet) පහසුකම්
සැපයීමට අපහසු අවස්ථාවල සන්නිවේදන ජාලයක අවසන් අදියරේ (last mile) එම
පහසුකම සැපයීමට වයිමැක්ස් තාක්‍ෂණය උපයෝගී කරගත හැක.
වයිමැක්ස් තාක්‍ෂණය එක් සථානයක
සිට තවත් ස්ථාන කිහිපයකට (point to multipoint) හෝ
එකිනෙක අතර සෘජුව සම්බන්ධතා ඇතිකරගත හැකි බැඳි ජාලයක් (mesh network)
සඳහා ද භාවිතා කළ හැක.
වයිමැක්ස් තාක්‍ෂණය IEEE 802.16 ප්‍රමිතිය
මත පදනම් වී ඇත.
වයිමැක්ස් ජාල වල රේඩියෝ තරංග
මූර්ජනයට OFDM (Orthogonal Frequency Division Multiplexing) නම්
මූර්ජන තාක්‍ෂණය භාවිතා කෙරේ. එක් එක් රටවල හා සන්නිවේදන ජාලවලට ලබා දී ඇති රේඩියෝ
තරංග පරාසයට අනුව 2-11GHz සංඛ්‍යාතය තුළ වයිමැක්ස්
සම්ප්‍රේෂණ සිදු කෙරේ.
වයිමැක්ස් මගින් 70Mbps දක්වා
දත්ත සන්නිවේදන ප්‍රවාහන වේගයන් ලබාගත හැක. උපරිම වේගයන් ලබා ගැනීමට හැකියාව ඇත්තේ
කෙටි දුර ප්‍රමාණවල වැඩි චැනල කලාප පළලක් හා ඉහළ මූරජන ක්‍රම භාවිතයෙන්ය.
ලොව පුරා සථාපිත වයිමැක්ස් ජාල 500 ට
වැඩි ගණනක් දැනට ක්‍රියාත්මකව පවතී.
නමුත් LTE තාක්‍ෂණයේ ව්‍යාප්තියත් සමග WiMax තාක්‍ෂණයේ ව්‍යාප්තිය පසුබෑමට ලක්වී
අභාවයට යමින් පවතී.
© කුසල් ඈපා